කිසියම් පාර්ශ්වයක් පුද්ගලික තොරතුරු ලබා ගැනීම සහ මූල්‍ය වංචා කිරීම සඳහා පුද්ගලයින් ලියාපදංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නම අනිසි ලෙස භාවිතා කරන බව එම දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීය.
+94115226126, +0115226126 වැනි දුරකථන අංක සහ 0771167739 සහ 0742756098 යන ජංගම දුරකථන අංක හරහා දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය වන 115226126 භාවිතා කරමින් ඔවුන් තොරතුරු ලබා ගන්නා බව වාර්තා වන බව ද දෙපාර්තමේන්තුව හෙළි කළේය.
පුද්ගලින් ලියාපදචිංචි කිරීමේ දෙපාර්තමේන්තුව එවැනි ලියාපදිංචි කිරීම් සිදු නොකරන බව පැවසූ අතර ජංගම දුරකථන හරහා ලැබෙන ඇමතුම් සඳහා පුද්ගලික තොරතුරු ලබා නොදෙන ලෙස ජනතාවට අවවාද කළේය.
මෙම පාර්ශවය ජාතික ලාංඡනය භාවිතා කරමින් ජංගම යෙදුමක් (APP) නිර්මාණය කර ඩිජිටල් හැඳුනුම්පතක් හෝ විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් ඉල්ලා සිටින පුද්ගලයින්ගේ තොරතුරු ලියාපදිංචි කර ඇති බවට දෙපාර්තමේන්තුව වෙත තොරතුරු ලැබී ඇත.
දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සමාන https://drpgov-lk.com නම් වංචනික වෙබ් අඩවියක් භාවිතා කරමින් විස්තර ඉල්ලා සිටිමින්, දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකයට සමාන අංකයකින් ලැබෙන ඇමතුම් සඳහා කිසිදු විස්තරයක් ලබා නොදෙන ලෙස දෙපාර්තමේන්තුව ජනතාවට වැඩි දුරටත් අනතුරු ඇඟවීය.
විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් හෝ ඩිජිටල් හැඳුනුම්පතක් සඳහා ලියාපදිංචි කිරීමක් තවමත් ආරම්භ කර නොමැති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සිය නිවේදනයෙන් අවධාරණය කළේය.













