ඩොලර් මිලියන 2.5ක් අතුරුදන්වීම: සත්‍ය ගවේෂක ව්‍යාපාරය අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලයි

මහා භාණ්ඩාගාරය විසින් සිදු කරන ලද ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක ගෙවීමක් වැරදි ලෙස යොමු කිරීම සම්බන්ධයෙන් වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ‘සත්‍ය ගවේෂක ව්‍යාපාරයේ කැඳවුම්කරු සහ නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා විසින් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

චෝදනා එල්ල වී ඇති මූල්‍ය අක්‍රමිකතාවයේ පරිමාණය සහ බරපතලකම සැලකිල්ලට ගෙන, පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට අභ්‍යන්තර තාක්ෂණික කමිටුවක් පමණක් ප්‍රමාණවත් නොවන බව පැමිණිල්ලේ අවධාරණය කර ඇති අතර ඒ වෙනුවට, ශ්‍රී ලංකා පොලිසිය විසින් මෙහෙයවනු ලබන ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස පැමිණිල්ල පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත.

විදේශ රටකට ගෙවිය යුතු ඩොලර් මිලියන 22.9 ක විශාල ණය ආපසු ගෙවීමකින් කොටසක් වන ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් 2025 දෙසැම්බර් සිට 2026 ජනවාරි දක්වා කාලය තුළ ශ්‍රී ලංකා භාණ්ඩාගාරය විසින් ගෙවා ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.

කෙසේ වෙතත්, එම ගෙවීම අපේක්ෂිත ලබන්නාගේ රටට මාරු කිරීම වෙනුවට සයිබර් හැකර්වරයෙකු යැයි විශ්වාස කරන තෙවන පාර්ශ්වයකට හරවා ඇති බව මාධ්‍ය වාර්තා මඟින් අනාවරණය වී තිබෙන බව ද සිද්ධිය විමර්ශනය කිරීම සඳහා 2026 මාර්තු 4 හෝ ඊට ආසන්න දිනකදී “තාක්ෂණික විමර්ශන කමිටුවක්” පත් කර ඇති බව වාර්තා වූ බව මෙම පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන් වේ.

මෙම කාරණය සම්බන්ධයෙන්, භාණ්ඩාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු, අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු සහ තොරතුරු තාක්ෂණ අංශයේ ප්‍රධානියාගේ වැඩ තහනම් කර ඇති බවත් සඳහන් කරන පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන් වන්නේ එවැනි විශාල ගනුදෙනුවක් නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයෙකු, ගණකාධිකාරීවරයෙකු හෝ තොරතුරු තාක්ෂණ නිලධාරීන් විසින් පමණක් සිදු කළ නොහැකි බවයි.

මෙම පැමිණිල්ලේ සඳහන් වන්නේ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්, භාණ්ඩාගාර ලේකම්, අමාත්‍යාංශ ලේකම් සහ අදාළ දේශපාලන අධිකාරිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අදාළ අනුමත කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ වීමට සිදුවනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website