ටයිටැනික් නෞකාවෙන් දිවි ගලවා ගත් අයෙකු පැළඳ සිටි ජීවිතාරක්ෂක කබායක් වෙන්දේසියකදී පවුම් 670,000කට අලෙවි වී ඇත.
ටයිටනික් නෞකාව ගිලී ගිය දා සිට (වසර 114ක් තුළ) වෙන්දේසියේදී අලෙවි වූ එකම ජීවිතාරක්ෂක කබාය මෙය වේ.
1912 දී ඛේදවාචකයෙන් දිවි ගලවා ගත් 700ක් පමණ දෙනාගෙන් එක් අයෙකු වූ (පළමු පන්තියේ මගී) ලෝරා මේබල් ෆ්‍රැන්කැටෙලි ජීවිතාරක්ෂක බෝට්ටුවකට ඇතුළු වීමට පෙර එම කබාය භාවිතා කළාය.
වෙන්දේසිකරු ඇන්ඩෲ ඕල්ඩ්‍රිජ් පැවසුවේ ඔහු “ප්‍රීතියෙන්” සිටි බවයි. ඔහු තවදුරටත් මෙසේ පැවසීය, “එය ටයිටැනික් නෞකාවේ සහ එහි මගීන් සහ කාර්ය මණ්ඩලයේ කතාව කෙරෙහි පවතින උනන්දුව සහ ආශාව පිළිබිඹු කරනවා”.
ෆ්‍රැන්කටෙලි සහ දිවි ගලවා ගත් සෙසු අය මෙම ජීවිතාරක්ෂක කබායට අත්සන් තබා ඇත.
ජැකට්ටුව අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා පවුම් ලක්ෂ ගණනකට අලෙවි වූ අතර, එය පවුම් 250,000 ත් 350,000 ත් අතර මිලකට අලෙවි වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබුණි.
ටයිටැනික් නෞකාවේ ජීවිතාරක්ෂක බෝට්ටුවක ආසන කුෂන් එකක් එම වෙන්දේසියේදීම පවුම් 390,000කට අලෙවි විය.
මෙම කුෂන් එක මුලින් මිලදී ගනු ලැබුවේ ටයිටනික් නැවේදී ගිලී මියගිය ලන්ඩන් තේ ආනයනකරු රිචඩ් විලියම් ස්මිත්ගේ මිතුරෙකු විසිනි.
නිව් යෝර්ක්හි බෘක්ලින් හි තේ ආනයනකරුවෙකු වන ටී.ජී. මැතිව්ස් හමුවීමට යමින් සිටි ස්මිත්, ව්‍යසනයෙන් මියගිය 1,500 දෙනා අතර වූ නමුත් ඔහුගේ සිරුර කිසි විටෙකත් හඳුනාගෙන නොමැත.
මෙම ආසනය ප්‍රදර්ශනයට තැබීමට නියමිත බව වෙන්දේසිකරු පැවසීය.
මෙම වෙන්දේසිය පැවැත්වෙන්නේ ටයිටැනික් ඛේදවාචකයේ 114 වන සංවත්සරය සැමරීමත් සමඟය.
මූලාශ්‍රය: බීබීසී













