කතානායක ජගත් වික්‍රමරත්න මහතා කතානායක නිල නිවාසය ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා භාවිතා නොකරන බවත් රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලදී භාවිත කරන්න අවශ්‍ය වන විට කථානායක නිල නිවස භාවිතා කරන බවත් අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය අද (05) පාර්ලිමේන්තුවට පැවසුවාය.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වත්මන් කථානායකවරයා පිළිබඳ ඇසූ ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් අග්‍රාමාත්‍යවරිය මෙසේ ද පැවසුවාය.
“වර්තමාන කථානායකතුමාගේ පෞද්ගලික කාර්යමණ්ඩලයේ සේවක සංඛ්‍යාව 12ක්, අනුමත සේවක සංඛ්‍යාව 20ක්. වර්තමාන කථානායකතුමා කථානායක නිල නිවස ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා භාවිත කරන්නේ නැහැ. නිල නිවසේ කාර්යමණ්ඩලය ලෙස සේවකයින් අනුමත සංඛ්‍යා 15ක් වුවත් සේවය කරන්නේ 08 දෙනෙක්. ඒ නිල නිවස විශාල නිල නිවාසයක් ඒනිසා නඩත්තු කටයුතු සඳහා කාර්ය මණ්ඩලයක් අවශ්‍යයි.
රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලදී භාවිත කරන්න අවශ්‍ය වන විට කථානායක නිල නිවස භාවිත කරනවා. ජනාධිපති කාර්යාලයත්, අරලියගහ මන්දිරයත් එවැනි රාජ්යත්රාන්තික කටයුතු සඳහා භාවිත කරනවා. රාජ්‍ය පරිපාලන, පළාත්සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්තුමාගේ අත්සනින් යුතු ලිපියක් මගින් කථානායක ධූරය දරණ කාලය සඳහා පමණක් කොළඹ පිහිටි රජයේ නිල නිවාසයක් කථානායකතුමා වෙත වෙන් කර තිබෙනවා. එහි කුලිය කථානායකතුමාගේ මාසික දීමනාවෙන් අඩු කරන්න කටයුතු කර තිබෙනවා. ඒ වගේම එම නිවසේ ජල බිල්පත් සහ විදුලි බිල්පත් කථානායකතුමා විසින් ගෙවනවා.
ඒ වගේම වාහන 07ක් භාවිතය සඳහා යොදවා තිබෙනවා. නමුත් කථානායකතුමා භාවිත කරන්නේ වාහන දෙකක් පමණයි. මෙතෙක් කථානායක ධූරය දැරූ කථානායකවරුන්ට අසීමිත ඉන්ධන කෝටාවක් ලබා දුන් බවත්, නමුත් වත්මන් කථානායකතුමා ඒ ප්‍රමාණය සීමා කර අමාත්‍යවරයෙක්ට ලබාදෙන ඉන්ධන ලීටර් 900ක ප්‍රමාණය පමණක් භාවිත කරනවා” අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.















