අපි පසුගිය කාලය තුළ මලයගම් ජනතාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළා. යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් අපි විශාල මුදල් වැය කරලා තිබෙනවා. අපට ලැබෙන සියලු මුදල් නාස්තිය, දූෂණය ආදියට ලක් නොකර 100%ක්ම ජනතාවට ප්‍රතිලාභ ලැබෙන ආකාරයට වියදම් කර තිබෙනවා. ඒ ගැන මට සතුටුයි. ඒ වගේම 2027 වෙනුවෙන් අපි දැනටමත් සැලසුම් සම්පාදනය කර තිබෙනවා. ඉතාම කෙටි කාලයක් තුළ සියලුම වතු මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වතුකරයේ සියලුම යටිතල පහසුකම් අපි සංවර්ධනය කරනවා.
- වතුකරයට ද සමීප සම්බන්ධතාවක් තිබෙන තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ජනප්‍රිය නළුවෙකු වන තලපති විජේ අනපේක්ෂිත ජයග්‍රහණයක් ලබා ගෙන තිබෙනවා. බොහෝ දෙනෙක් කියන්නේ ඔහු මහ ඇමතිවරයා ලෙස පත්වෙයි කියලා. ඔබ මේ ජයග්‍රහණය දකින්නේ කෙසේ ද ?
තමිල්නාඩු ප්‍රාන්තයේ ජනතාවත් 2024 දී අපේ ජනතාව කල්පනා කළ ආකාරයට සාම්ප්‍රදායික පවුල් දේශපාලන ක්‍රමය ප්‍රතික්ෂේප කරමින් නව දේශපාලන නායකත්වයක් තෝරා ගෙන තිබෙනවා. ලංකාවේ දේශපාලනය සහ තමිල්නාඩුවේ දේශපාලනය සැසදීමක් කළ නොහැකි වුණත් තමිල්නාඩු ජනතාවගත් තීන්දුව පවුල් දේශපාලනය, සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ ක්‍රමය ප්‍රතික්ෂේප කිරීමක් ලෙස පැහැදිලිව සැලකිය හැකියි.
- තමිල්නාඩු දේශපාලනය තුළ සිදු වුණ මේ වෙනස ගැන ලංකාවේ යම්කිසි තිගැස්මක් තිබෙනවා නේද ?
තමිල්නාඩු දේශපාලනඥයෝ මැතිවරණවලදී ශ්‍රී ලංකාව, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ දමිළ ජනතාව ගැන සංවේදී වෙමින් විවිධ පොරොන්දු දෙනවා. ඒ වගේම කාලයක සිට කච්චතිව් දූපතත් ඔවුන් අතර ජනප්‍රිය මාතෘකාවක් වී තිබෙනවා.
- මෙරට මලයගම් ජනතාව තමිල්නාඩු දේශපාලනයේ සිදු වුණ මේ වෙනස ගැන කල්පනා කරන්නේ කෙසේද ?
තලපති විජේ ඇතුළු තමිල්නාඩු නළු – නිළියන්ට අපේ මලයගම් ජනතාව අතර විශාල ප්‍රසාදයක් තිබෙනවා. ඒ වගේම තලපති විජේට ඔවුන් අතර ඉහළ ජනප්‍රියතාවක් තිබෙනවා. මම හිතන ආකාරයට අපේ මලයගම් ජනතාව පමණක් නොවෙයි සිංහල ජනතාව පවා තලපති විජේට කැමැත්තක් දක්වනවා.
- තමිල්නාඩු දේශපාලනඥයින් සහ මලයගම් ජනතාව අතර සම්බන්ධයක් තිබෙනවා ද ?
අපේ මලයගම් ජනතාවට බොහෝ දේවල් ලබා දුන්නේ තමිල්නාඩු දේශපාලනඥයින් නොවෙයි, ඒ ආධාර – උපකාර ලැබුණේ ඉන්දීය මධ්‍යම ආණ්ඩුවෙන්. උදාහරණයක් ලෙස නිවාස ව්‍යාපෘති සලකන්න පුළුවන්. ඒවා සියල්ල ලැබුණේ ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ පරිත්‍යාග ලෙසයි.
- ශ්‍රී ලංකාවේ මලයගම් ජනතාව කියන්නේ මේ රටේ දේශපාලනය තුළ තීරණාත්මක ජන කොටසක්. ඒ වගේම ඔවුන් දශක පහකට අධික කාලයක් ‘රජුන් තනන භූමිකාවට’ සම්බන්ධ වුණා. නමුත් බොහෝ දෙනෙක් කියන්නේ මේ ජනතාව පසුගිය කාලය පුරාම නොසලකා හැරීමට ලක් වුණා කියලා, ඔවුන්ගේ මූලික අවශ්‍යතා පවා ලබා දුන්නේ නැහැ කියලා. මලයගම් ජනතාවට ඍජුව සම්බන්ධ අමාත්‍යාංශයක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස වර්තමාන තත්ත්වය ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ?, විශේෂයෙන් වර්තමානයේ බරපතළ අවධානයක් ලක්ව තිබෙන නිවාස ප්රශ්නය ගැන පැහැදිලි කිරීමක් කළ හැකි ද ?
මලයගම් ජනතාව වෙනුවෙන් මේ වන විට ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. මීට පෙර පැවැති රජය සමයේ මලයගම් ජනතාව වෙනුවෙන් නිවාස 4000ක පරිත්‍යාගයක් ඉන්දියාවෙන් ලැබී තිබුණා. නමුත් එම නිවාස ව්‍යාපෘතිය අවසන් කිරීමට ඔවුන්ට හැකියාවක් ලැබී තිබුණේ නැහැ. නමුත් අප බලයට පත් වූ පසු මේ ව්‍යාපෘති අවසන් කිරීමට පියවර ගනිමින් සිටිනවා. ඒ වගේම 2017 දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් නිවාස 10,000ක් පරිත්‍යාග කළා. ඒ නිවාස ව්‍යාපෘතියෙන් පසුගිය රජය කාලේ වැඩ අවසන් කර තිබුණේ නිවාස 25ක පමණයි. නමුත් අපට එම ව්‍යාපෘතියේ නිවාස 1300ක වැඩ අවසන් කිරීමට සියලු කටයුතු සංවිධානය කර තිබෙනවා. මේ වන විට එම නිවාස වල ඉදිකිරීම් කටයුතුවලින් 90%ක ප්‍රමාණයක් අවසන් කර තිබෙනවා. ඊට අමතරව 2026 වර්ෂයේ දී ඉන්දියානු නිවාස 2026ක ව්‍යාපෘතියක් ලැබුණා. මේ වන විට මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ඉඩම් වෙන් කිරීමේ කටයුතු සිදුවෙමින් තිබෙනවා. ඒ වගේම පසුගිය රජයන් විසින් වැඩ අවසන් නොකළ නිවාස ව්‍යාපෘති වෙනුවෙන් අපි මේ වන විට රුපියල් මිලියන 700ක මුදලක් වෙන්කර තිබෙනවා. මෙම නිවාස මේ වසර අවසානයට පෙර ජනතාවට ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා.
- පසුගිය දිට්වා සුළි කුණාටුවෙන් වැඩිම හානියක් වුණේ මලයගම් ජනතාවට බව පැහැදිලි කරුණක්. මේ වන විට ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක වන වැඩසටහන්වල ප්‍රගතිය ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ?
ඇත්තටම අපටත් පොඩි ගැටලුවක් ආවා. ජනාධිපතිතුමා පොරොන්දු වුණා හානියට පත් සෑම නිවාසයකටම රුපියල් ලක්ෂ 50ක් දෙනවා කියලා. නමුත් මේ ව්‍යාපෘතිය වතුවල ක්‍රියාත්මක කිරීමට යන විට යම් යම් ගැටලු ඇති වුණා. උදාහරණයක් ලෙස මීට පෙර මලයගම් ජනතාවගේ නිවාස වලට යම් ආපදා තත්ත්වයක් හේතුවෙන් අලාභ හානියක් වුණොත් රජය විසින් ලබා දුන්නේ රුපියල් 10,000ක් පමණයි. නමුත් ජනාධිපතිතුමා මේ ගැටලුව ගැන අවධානය යොමු කරලා දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ මලයගම් ජනතාවටත් රුපියල් ලක්ෂ 50ක් ලබාදීමට අදාළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා ගත්තා. ඒ අනුව දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් වූ අපේ මලයගම් ජනතාවටත් ඉඩම් වෙන් කිරීමේ කටයුතු කඩිනමින් සිදුවෙනවා. නීති වෙනස් කිරීමට සිදු වුණ නිසා මේ කටයුතුවල යම් ප්‍රමාදයක් සිදු වුණා. නමුත් දැන් ඒ සියලු කටයුතු කඩිනමින් සිදු වෙනවා.
- අවතැන් ජනතාව වෙනුවෙන් ලබා දුන් නිවාස කුලිය මලයගම් ජනතාවටත් ලැබුණා ද ?
ඔව්, අදාළ පවුල් වෙනුවෙන් ලබා දෙන රුපියල් 25,000 සහ 50,000ක සහන ඔවුන්ට ලැබී තිබෙනවා.
- නාවලපිටිය – බදුල්ල දුම්රිය මාර්ගය විනාශ වීම හේතුවෙන් මලයගම් ජනතාව දැඩිව පීඩාවට පත්ව සිටින බව වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් රජයේ මැදිහත් වීම සිදු වන ආකාරය පැහැදිලි කරන්න පුළුවන් ද ?
ඇත්තටම ඒක විශාල ප්‍රශ්නයක් බවට පත් වුණා. විශේෂයෙන්ම මලයගම් ජනතාවගේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය වන්නේ දුම්රිය සේවයයි. ඔවුන් මේ නිසා පීඩාවට පත්ව සිටින ආකාරය අපි අවස්ථා ගණනාවක දී නිරීක්ෂණය කළා. මේ වන විට උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් සිදුවෙනවා. මේ තත්ත්වයට විකල්පයක් වශයෙන් අදාළ ප්‍රදේශවල බස් රථ සේවාවන් පුළුල් කරලා තිබෙනවා. ඉතාම ඉක්මනින් දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිම කරලා දුම්රිය ධාවන කටයුතු ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

- වතුකරයේ අධ්‍යාපන පද්ධතිය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා නොවිසඳුණු ගැටලු සහ අඩුපාඩු තිබෙනවා. මේ වන විට එහි තත්ත්වය කුමක් ද ?
මලයගම් ජනතාව අතර දියුණුවක් සිදුවීමට නම් නිවාස ලබාදීම, මාර්ග ඉදිකිරීම පමණක් ප්‍රමාණවත් නැහැ. ඔවුන් පසුගිය කාලය පුරාම අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍රවල බරපතළ ගැටලු ගණනාවකට මුහුණ දුන් ජනතාවක්. මලයගම් ජනතාවගේ ඡන්දයෙන් බලයට පත් වුණ, ආණ්ඩු හදපු හිටපු පාලකයෝ ඔවුන්ගේ අධ්‍යාපන හා සෞඛ්‍ය සංවර්ධනය වෙනුවෙන් කිසිම අවධානයක් යොමු කළේ නැහැ. නමුත් අපේ රජය, ජාතික ජන බලවේගය රජය දැඩිව විශ්වාස කරනවා මලයගම් ජනතාවගේ දියුණුවක් සිදුවීමට නම් අධ්‍යාපනය සහ සෞඛ්‍ය පද්ධතිවල විශාල පරිවර්තනයක්, සංවර්ධනයක් සිදුවිය යුතුයි කියලා.
අපි අධ්‍යාපන අමාත්‍යතුමිය සමඟ පසුගිය කාලය පුරාම මලයගම් ජනතාවගේ අධ්‍යාපන ගැටලු සහ එම ගැටලුවලට විසඳුම් ලබා දෙන ආකාරය සාකච්ඡා කළා. ඒ අනුව වතු පාසල් ගැන එහි දී විශේෂ අවධානයක් යොමු කළා. එම සාකච්ඡාවල දී අග්‍රාමාත්‍යතුමිය අපට පොරොන්දු වුණා වතු පාසල්වලට අක්කර දෙකක් ඉඩම් අයිතිය ලබා දෙන්න. මේ දක්වා වතුකරයේ පාසල්වලට ඉඩම් අයිතියක් නැහැ. මේ නිසා වතු පාසල් විශාල ගැටලු රැසකට මුහුණ දීලා තිබෙනවා. ජූලි 06 වැනිදා මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමිය සමඟ විශේෂ සාකච්ඡාවක් තිබෙනවා. එහි දී වතු පාසල් සතුව තිබෙන ඉඩම් ප්‍රමාණය සහ ඒවාට කොපමණ ඉඩම් ප්‍රමාණයක් අවශ්‍ය කරනවා ද ? යන විස්තර ලබා ගෙන තවත් සාකච්ඡාවක් කිරීමට බලාපොරොත්තු වෙනවා. අපේ අරමුණ වන්නේ ඉතාම කෙටි කාලයක් තුළ වතු පාසල් මුහුණ දෙන ඉඩම් ගැටලුවලට විසඳුම් ලබා ගැනීමයි. ඒ වගේම දිස්ත්‍රික් මට්ටමින් එක වතු පාසලක් සංවර්ධනය කරලා දෙන ලෙස අපි අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඉල්ලා තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යතුමිය අපේ ඒ ඉල්ලීමටත් එකඟත්වය ප්‍රකාශ කළා. ඒ වගේම වතුකරය ආශ්‍රිත දිස්ත්‍රික්කවල දිස්ත්‍රික්කයකට දමිළ මාධ්‍ය එක ක්‍රීඩා පාසලක් ස්ථාපිත කිරීමට හෝ සිංහල මාධ්‍ය පාසල් වල අධ්‍යාපනය ලබන දමිළ දරුවන් වෙනුවෙන් දමිළ මාධ්‍ය ක්‍රීඩා උපදේශකයින් පත් කරන ලෙස අපි ඉල්ලීමක් කර තිබෙනවා.
- මලයගම් ජනතාව අතර සෞඛ්‍ය සේවා සම්බන්ධයෙන් බරපතළ ගැටලු සහ විෂමතා පවතිනවා. මේ ගැන රජය අවධානය යොමු කරලා තිබෙනවා ද ?
මලයගම් ජනතාවට බරපතළ සෞඛ්‍ය ගැටලු සහ පහසුකම්වල අඩුපාඩු තිබෙනවා. වතුකරය ආශ්‍රිත රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථානවලට ගමන් කිරීමේ අපහසුතා ප්‍රධාන ගැටලුවක් ලෙස සැලකිය හැකියි. ඒ වගේම වෛද්‍යවරුන්ගේ හිඟය, රෝහල් කාර්ය මණ්ඩලය හිඟය සහ යටිතල පහසුකම්වල හිඟයෙන් වතුකරයේ රෝහල් සහ සෞඛ්‍ය සායන දීර්ඝ කාලයක් පුරා පීඩා විඳිනවා. ඒ වගේම වතු රෝහල් පද්ධතියක් ක්‍රියාත්මක වුණා. නමුත් එම රෝහල් ගැන නිසි අවධානයක් යොමු නොකළ නිසා, පුහුණු වෛද්‍යවරුන් අනුයුක්ත නොකළ නිසා පසුගිය කාලය තුළ වතු රෝහල් විශාල ප්‍රමාණයක් වැසී ගොස් තිබෙනවා. මේ ගැටලුවට විසඳුමක් ලෙස ගැටලු සහිත වතු රෝහල් රජයට පවරා ගැනීමට සහ අඩුපාඩු සහිත වතු රෝහල්වලට අදාළ මානව සහ භෞතික සම්පත් ලබා දෙන්නත් පියවර ගනිමින් සිටිනවා. මේ ගැටලු ගැන සාකච්ඡා කිරීම සඳහා අපි අපේ සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් සාකච්ඡාවක් ඉල්ලා තිබෙනවා. අපි හිතනවා මේ මාසයේ දී අදාළ සාකච්ඡාව ලැබෙයි කියලා. ඒ අනුව කඩිනමින් වතු ජනතාව මුහුණ දෙන සෞඛ්‍ය ගැටලුවලට විසඳුම් ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා.
- මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම ඔබේ රජයේ ප්රමුඛ ව්‍යාපෘතියක්. මලයගම් ජනතාව අතර මත්පැන් භාවිතය සහ මත් ද්‍රව්‍ය උවදුර බරපතළ ගැටලුවක් බව කවුරුත් දන්නා කාරණයක්. මේ අභියෝගය ජය ගැනීමට මේ වන විට ගෙන ඇති පියවර මොනවා ද ?
පසුගිය රජයන් මේ සම්බන්ධයෙන් කිසිම අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් මත්පැන් භාවිතය සහ මත්ද්‍රව්‍ය භාවිතය මලගයම් ජනතාව අතර සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව තිබුණා. විශේෂයෙන් කසිප්පු මලයගම් ජනතාව අතර වඩාත් ප්‍රචලිත වී තිබෙනවා. මේ උවදුර සමස්ත වතුකරය පුරාම, මලයගම් ජනතාව අතර ප්‍රචලිත වෙලා තිබෙනවා. මේ නිසා පවුල් ප්‍රශ්න වගේම නිමක් නැති වෙනත් ගැටලු ඇති වෙලා තිබෙනවා. අපෙන් මලයගම් ජනතාව ඉල්ලා සිටි ප්‍රධාන ඉල්ලීම තමයි වතුකරයේ, මලයගම් ජනතාව අතර තිබෙන මත්පැන් භාවිතය සහ මත් උවදුර පිටුදැකීමට පියවර ගැනීම. මේ අනුව රජයේ ප්‍රධාන ව්‍යාපෘතියක් වන ‘රටම එකට’ වැඩසටහන තුළින් මත්ද්‍රව්‍ය භාවිතය පිටුදැකීමේ අරමුණට වඩා ඉදිරියට ගිහින් පුනරුත්ථපනය, දැනුවත් කිරීම හා පිටුදැකීම වැනි පියවර කිහිපයක් ගෙන තිබෙනවා. මේ වෙනුවෙන් පොලිසිය, විශේෂ කාර්ය බළකාය ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණයේ පූර්ණ සහාය හා කැපවීම හිමිවෙනවා.
- මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන විට මුහුණ දීමට සිදුවන ප්‍රධාන අභියෝග මොනවා ද ?
මේ සඳහා පොලිසියේ සහාය අත්‍යවශ්‍යයි. නමුත් මේ වන විට පොලිස් නිලධාරීන්ගේ විශාල හිඟයක් තිබෙනවා. රජය අලුතින් පොලිස් නිලධාරීන් බඳවා ගැනීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව විශේෂ කාර්ය බළකාය, සිවිල් ආරක්ෂක බළකාය යොදා ගෙන විශේෂ වැටලීම් කිරීමට පියවර ගත්තා. මේ වැඩපිළිවෙළ මේ වන විට සාර්ථක වෙලා තිබෙනවා. ඒ වගේම ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ප්‍රජා ශක්ති මධ්‍යස්ථාන සහ නිලධාරීන්ගේ සහාය මේ වෙනුවෙන් අපට ලැබෙනවා.
- කහවත්ත නීලගම වත්තේ වතුකම්කරුවන්ට පහර දීමේ සිද්ධියක් පසුගිය දිනවල දැඩි අවධානයට ලක් වුණා. මේක සිදුවෙන්නේ ඔබගේ දිස්ත්‍රික්කයේ. ඇත්තටම මෙහි දී සිද්ධ වුණේ කුමක් ද ?
මෙය හුදකලා සිදුවීමක් හෝ මුල්ම සිදුවීම නොවෙයි. මීට පෙර මෙවැනි සිදුවීම් ගණනාවක් වාර්තා වී තිබෙනවා. මේ සිදුවීම ගැන පැහැදිලි කළොත්, මේ වත්තේ ජනතාවට ඉඩම් කැබලි කිහිපයක් වෙන් කරලා තිබෙනවා. මේ ඉඩම් ලබා දෙන බවට පොරොන්දු වූ ජනතාවගෙන් මුදල් එකතු කරලා මේ ඉඩම සුද්ද කිරීමටත් මීට වසර කිහිපයකට පමණ පෙර පියවර ගෙන තිබුණා. මේ අතර මේ වත්තෙම ජීවත් වන තරුණයෙක් මේ ඉඩමේ පදිංචි වීමට අවසර දෙන ලෙස අදාළ අංශවලින් කිහිප වතාවක් ඉල්ලීම් කර තිබෙනවා. නමුත් නිලධාරීන් ඒකට අනුමැතිය ලබා දුන්නේ නැහැ. නමුත් අවසානයේ මේ තරුණයා අදාළ ඉඩමට ගොස් ටකරන් වලින් කුඩා නිවසක්, මඩුවක් ඉදිකර ගෙන තිබෙනවා.
මේ වත්තේ පෞද්ගලික ආරක්ෂක ආයතනයක් තමයි ආරක්ෂක කටයුතු භාරව කටයුතු කරන්නේ. හමුදාවෙන් විශ්‍රාම ගිය නිලධාරීන් තමයි එහි සේවය කරන්නේ. වතු නිලධාරීන් අර තරුණයාට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු නොකර, ඔහුට සහ වතු ජනතාවට පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් ලවා පහරදීමක් කළා. මේක තමයි කහවත්ත ප්‍රදේශයේ නීලගම වත්තේ සිදු වුණේ. නමුත් ඇතැම් පිරිස් මේ සිදුවීම ජාතිවාදී සිදුවීමක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළා. මේක කිසිසේත් ජාතිවාදී ක්‍රියාවක් නොවෙයි. එතන සිදු වුණේ වතු පරිපාලනය සහ තරුණයින් අතර පුද්ගලික ගැටුමක් පමණයි.
මේ සිද්ධිය ආරංචි වූ විගස මම මගේ නිලධාරීන් හරහා පොලිසිය දැනුවත් කරලා තත්ත්වය පාලනය කිරීමට පියවර ගත්තා. ඒ වගේම අදාළ පහරදීම කළ පුද්ගලයින් අත්අඩංගුවට ගත්තා. මේ වන විට මෙම සිදුවීම සම්බන්ධ අධිකරණ කටයුතු සිදු වෙනවා. එසේම සමන්ත විද්‍යාරත්න ඇමැතිතුමා සමඟ සාකච්ඡා කර අදාළ වතු සමාගමට එරෙහිව නීත්‍යානුකූල පියවර ගැනීමට අපි කටයුතු කර තිබෙනවා. ඒ අනුව වතු සමාගම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මේ වන විට සිදු වෙනවා. අපි වතු සමාගමට එරෙහිව විනය පියවර ගන්නවා. වතු ජනතාවට මේ ආකාරයෙන් පහර දීමට සමාගම්වලට හැකියාවක් නැහැ. මෙවැනි සිදුවීම් වලින් විපක්ෂය දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කිරීම ඇත්තටම කනගාටුවට කරුණක්. විපක්ෂ නායකවරයා, මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා මේ ගැන පාර්ලිමේන්තුවේ දී කතා කළා. නමුත් අපි අමාත්‍යාංශ මට්ටමින් අවශ්‍ය සියලු පියවර ගෙන තිබෙනවා. මේ සිදුවීම හරහා දේශපාලන වාසි ලබා ගැනීමට හෝ ජාතිවාදය වැපිරීමට අපි කිසිම අවස්ථාවක් දෙන්නේ නැහැ.
- මලයගම් ජනතාවගේ තරුණ ප්‍රජාව දැන් බහුලව ජීවත් වෙන්නේ වතුකරයෙන් බැහැර ප්‍රදේශවල, විශේෂයෙන් කොළඹ. මේ තරුණ ප්‍රජාවගේ සුභසාධනය සහ දියුණුව වෙනුවෙන් රජය පියවර ගෙන තිබෙනවා ද ?
තරුණයෝ සදාකාලිකවම වත්තේ ජීවත් විය යුතු නැහැ. තොණ්ඩමන් අනුස්මරණ පදනම හරහා වතු තරුණයින්ට වෘත්තීය පුහුණුව ලබා දීමේ වැඩසටහන් ආරම්භ කරලා තිබෙනවා. ඒ වගේම මලයගම් තරුණයින් පොලිසියට බැඳීමට උනන්දු කරවීමට අපි පියවර ගෙන තිබෙනවා, ඒ සම්බන්ධයෙන් අපි මලයගම් තරුණයින්ව දැනුවත් කරනවා. ජනාධිපතිතුමාත් ප්‍රකාශ කළා දමිළ භාෂාව කතා කරන තරුණයින් 2500ක්වත් පොලිසියට අලුතින් එක්විය යුතුයි කියලා. ඒ වගේම යෞවන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ එක්ව මලයගම් තරුණ ප්‍රජාව වෙනුවෙන් අලුත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව යොවුන් සේනාංකය හරහා මලයගම් තරුණයින්ට වෘත්තීය පුහුණුව ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. මලයගම් ජනතාවගේ ජීවිතය ජය ගන්න සෑම උපකාරයක්ම අපි කරනවා.
- ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත්ව ගෙවී ගිය කාලය තුළ මලයගම් ජනතාව වෙනුවෙන් ඔබේ රජය කළ සේවය ගැන ඔබේ තක්සේරුව කුමක් ද ?
අපි පසුගිය කාලය තුළ මලයගම් ජනතාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළා. යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් අපි විශාල මුදල් වැය කරලා තිබෙනවා. අපට ලැබෙන සියලු මුදල් නාස්තිය, දූෂණය ආදියට ලක් නොකර 100%ක්ම ජනතාවට ප්‍රතිලාභ ලැබෙන ආකාරයට වියදම් කර තිබෙනවා. ඒ ගැන මට සතුටුයි. ඒ වගේම 2027 වෙනුවෙන් අපි දැනටමත් සැලසුම් සම්පාදනය කර තිබෙනවා. ඉතාම කෙටි කාලයක් තුළ සියලුම වතු මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වතුකරයේ සියලුම යටිතල පහසුකම් අපි සංවර්ධනය කරනවා.
සටහන – භාතිය බරුකන්ද
රතුඉර පුවත්පතේ මැයි 10 වැනි දින ප්‍රකාශයට පත්කරන ලද ලිපියකි.















