කාන්තාවන්ට දුම්රිය සේවයේ සියලු තනතුරු දැන් විවෘත ද ? : නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ කුමක් ද ?

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සියලු ම තනතුරු සඳහා කාන්තාවන් බඳවා ගැනීමට අවස්ථාව සැලසීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි  නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නයනතාරා බාලපටබැඳි අද (දෙසැ: 12) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නාය.

මෙම පෙත්සම ජනක් ද සිල්වා, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ අචල වෙංගප්පුලි යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ දුම්රිය ස්ථානාධිපති තනතුරු සඳහා කාන්තාවන්ට අයැදුම් කිරීම අවහිර කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනයක් අභියෝගයට ලක් කරමින් අයේෂානි ජයවර්ධන සහ සුරේෂ් විදුෂා යන කාන්තාවන් දෛනා විසින් ගොනු කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී ඇය මෙම දැනුම් දීම කළා ය.

පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු පිරිසන් නම් කර තිබුණේය.

පසුගිය නොවැම්බර් 3 වන දා රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සියලු ම තනතුරු සඳහා කාන්තාවන් බඳවා ගැනීමට අවසරය ලබා දුන් බව  රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරිය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා ය.

එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ අධිකරණයට දැනුම් දුන්නේ, පෙත්සම්කරුවන් ඉල්ලා සිටි සහනය මේ වන විට ලැබී තිබෙන බැවින් මෙම පෙත්සම් විභාගය අවසන් කිරීමට ඔවුන් එකඟතාව පළ කරන බව ය.

දෙපාර්ශ්වයේ කරුණු සලක බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගය අවසන් කිරීමට තීන්දු කළේ ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website