
අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ජනාධිපතිවරයා විසින් අංක 2664/30 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් 2025 නොවැම්බර් 28 වනදා සිට ශ්‍රි ලංකාව පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරන ලදී. ඒ ප්‍රකාශනයත් සමගම හදිසි අවස්ථා නියෝග පැනවීම සදහා ජනාධිපතිවරයාට නීතිමය බලය ලැබුණු අතර ඒ අනුව ජනාධිපතිවරයා විසින් 2025 නොවැම්බර් මස 28 වැනිදා අංක 2464/31 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් 2025 අංක 1 දරන හදිසි අවස්ථා (විවිධ විධිවිධාන හා බලතල) නියෝග පනවන ලදී.
-
හදිසි අවස්ථා නියෝග පිළිබඳ නීතිමය පසුබිම
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 ව්‍යවස්ථාවට අනුව මහජන ආරක්‍ෂක පනත යටතේ හදිසි අවස්ථා නියෝග පැනවීම සදහා ජනාධිපතිවරයාට බලය පවතී. එසේ පනවන නියෝග ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හැර අනෙකුත් ඕනෑම පවතින නීතියක් අභිබවා යා හැකිය. හදිසි අවස්ථා නියෝග පැනවීම පිළිබඳව මූලික විධිවිධාන 1947 අංක 25 දරණ මහජන ආරක්‍ෂක පනත තුළ අන්තර්ගත වී තිබේ. එකී පනතට අනුව ශ්‍රි ලංකාවේ යම් කොටසකට හෝ ශ්‍රි ලංකාව මුළුල්ලේම හදිසි තත්වයක් උද්ගත වී ඇති බව ජනාධිපතිවරයාගේ අදහස වන විට ඔහු විසින් රට තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළ හැකිය. එය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කල යුතුය. එවැනි ප්‍රකාශයක් මාසයක කාලයකට වලංගුව පවතී. කෙසේවෙතත්, හදිසි තත්වයක් පවතින බවට ජනාධිපතිවරයා කරනු ලබන ප්‍රකාශය දින 10 ක් ඇතුළත පාර්ලිමේන්තූව විසින් යෝජනා සම්මතයකින් සම්මත කළ යුතූය. එසේ දින 10ක් තුළ පාර්ලිමේන්තුව විසින් සම්මත නොකලහොත් හදිසි අවස්ථාව එය පැනවූ දින සිට 14 වන දිනයේදී අහෝසි වී යයි.
එමෙන්ම තත්වය පාලනය කිරීම සඳහා වන විශේෂ නියෝග ගැසට් මගින් පනවනු ලබයි. හදිසි අවස්ථා නියෝග ලෙස හදුවන්නේ මෙම නියෝගයි. හදිසි අවස්ථාව සෑම මසකම පාර්ලිමේන්තූව විසින් දීර්ඝ කරනු ලැබීම මගින් ජනාධිපතිවරයා පනවනු ලබන නියෝග සඳහා නීතිමය බලයක් ලබා දෙයි.(ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 155(4),155(5) ව්‍යවස්ථා) හදිසි අවස්ථා නියෝග මගින් ආරක්‍ෂක අංශවලට අතිරේක බලයක් හා වගකීමක් පැවරෙන අතර පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් සීමා කිරීමක් ද සිදුකරනු ලබයි.
-
හදිසි අවස්ථා නියෝග සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය
සෑම පුරවැසියකුටම ප්‍රකාශනය ඇතුලු අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මූලික අයිතිවාසිකමක් ලෙස පවතින බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) ව්‍යවස්ථාවෙන් දක්වා ඇත. කෙසේවෙතත්, මෙම අයිතිවාසිකම භුක්ති විදිය හැකි වන්නේ තත්කාලයේ පවතින මහජන ආරක්‍ෂක නීතියක් යටතේ පනවනු ලබන නියෝගවලට යටත්ව බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 5(7) ව්‍යවස්ථාව දක්වයි. ඒ අනුව ජනමාධ්‍ය තුළ භාවිතා කරන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හදිසි අවස්ථා නියෝග මගින් සීමා කල හැකිය.
-
2025 අංක 1 දරන හදිසි අවස්ථා නියෝග
මෙම හදිසි අවස්ථා නියෝග කොටස් 7 කින් යුක්තය. එනම්
- කොටස- සාමාන්‍ය
- කොටස- පරිශ්‍ර හා වාහන සන්තකයට ගැනීම සහ පුද්ගල සේවාවන් අධිග්‍රහණයට ගැනීම
- කොටස- ඇතුළුවීමේ අයිතිවාසිකම් යනාදිය
- කොටස- සෝදිසි කිරීම සහ වරද සඳහා සිරභාාරයට ගැනීම
- කොටස- වැරදි සහ දණ්ඩන
- කොටස- විමර්ශන නඩු විභාග යනාදිය
- කොටස-විවිධ
-
මාධ්‍ය/හා සමාජ භාවිතයේදී සැලකිලිමත් විය යුතු ප්‍රතිපාදන
මෙම හදිසි අවස්ථා නියෝග අනුව මාධ්‍ය/ සමාජ මාධ්‍ය භාවිතයේ දී සැලකිලමත් විය යුතු ප්‍රතිපාදන පවතින්නේ හදිසි අවස්ථා නියෝගවල ඪ වන කොටසේ වැරදි සහ දණ්ඩන යටතේය. ඒ අනුව
- අප්‍රසාදය වැළැක්වීම- රජයේ නිළධාරිියකු සේවා නියුක්තිකයකු හෝ අත්‍යවශ්‍ය සේවාවන්වල නියුක්ත තැනැත්තෙකු කොරහි අප්‍රසාදයක් ඇති කිරීමට උත්සාහ කිරීම වරදක් බව හදිසි අවස්ථා නියෝග 18 හි දැක්වේ. ඒ අනුව මාධ්‍ය සහ සමාජ මාධ්‍ය භාවිතයේදී රාජ්‍ය නිලධාරීන් හෝ අත්‍යවශ්‍ය සේවාවන්හි නියුක්ත තැනැත්තන් අප්‍රසාදයට පත්කරන ආකාරයේ අන්තර්ගතයන් ප්‍රචාරය කිරීමෙන් වැළකීමට වගබලාගත යුතුය.
- කටකතා හෝ අසත්‍යය ප්‍රකාශ සන්නිවේදනය කිරීම හෝ පැතිරවීම-මහජනයා බිය ගැන්විය හැකි හෝ මහජනයාා කැළඹිය හැකි ආකාාරයේ කිසිම කටකතාවක් හෝ අසත්‍යය ප්‍රකාාශයක් කට වචනයෙන්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ස්වයංක්‍රීය පද්ධති හෝ කෘතිම බුද්ධිය ඇතුළු ස්වයංක්‍රීය පද්ධති හෝ යම් ලිඛිත, විද්‍යුත්, ඩිජිටල් හෝ වෙනත් යම් ආකාාරයක මාධ්‍යයක් හරහා සන්නිවේදනය කිරීම, පළකිරීම, නිර්මාණය කිරීම හෝ පැතිරවීම කිසිම තැනැත්තකු විසින් නොකල යුතු බව හදිසි අවස්ථා නියෝග 20 දක්වයි. එබැවින් මාධ්‍ය අන්තර්ගතයන් සකස් කිරීමේදී සහ ප්‍රචාරයේදී අන්තර්ගතයෙහි නිවැරදි බව පිලිබදව දැඩි ලෙස සැලකිලිමත් විය යුතුය.
මෙවැනි වරදක් සිදුකිරීම පමණක් නොව ඒ සදහා සූදානම් වීම, තැත්කිරීම මෙන්ම ආධාර සහ අනුබල දීම ද වරදක් බව හදිසි අවස්ථා නියෝග 26 හි සදහන් වේ.
-
අත් අඩංගුවට ගැනීම සහ නඩු පැවරීම
හදිසි අවස්ථා නියෝග කඩ කිරීම සම්බන්ධ විමර්ශන සහ අත් අඩංගුවට ගැනීම් සිදු කිරීමේ බලය පොලිස් නිලධාරීන්ට අමතරව යුධ, ගුවන් සහ නාවික හමුදාවන්හි අධිකාරීලත් සහ අධිකාරී නොලත් නිලධාරීන්ට පවතින බව හදිසි අවස්ථා නියෝග 36 දක්වයි. එසේම මේ සම්බන්ධයෙන් නඩු පැවරිම හා අධිකරණය තීරණය කිරීමේ බලතල නීතිපතිවරයා වෙත පවරා ඇත.
-
පාපොච්චාරණ සහ ප්‍රකාශ ආවේශ කර ගැනීම
හදිසි අවස්ථා නියෝග යටතේ වරදක් වන කරුණක් සම්බන්ධයෙන් සැකකටයුතු පුද්ගලයකු විසින් සහකාර පොලිස් අධිකාරීවරයකුට පහල නොවන නිලධාරීයකු වෙත ලබාදෙන ප්‍රකාශයක් හෝ පාපොච්චාරණයක් එම පුද්ගලයාට එරෙහිව පවත්වනු ලබන නඩු විභාගයකදී ඔහුට/ඇයට විරුද්ධව සාක්‍ෂියක් ලෙස භාවිතා කල හැකි බව හදිසි අවස්ථා නියෝග 41 හි දැක්වේ.
-
දඩුවම්
ඉහත වරදකට වරදකරු වන තැනැත්තකුට මාස තුනකට නොඅඩු සහ අවුරුදු පහකට නොවැඩි බරපතල වැඩ ඇතිව බන්ධනාගාරගත කිරීමකට සහ රුපියල් පන්සීයකට නොඅඩු සහ රුපියල් පන්දහසකට නොවැඩි දඩයකට යටත් විය යුතු බව හදිසි අවස්ථා නියෝග 29 හි සදහන් වේ.
සමාප්තිය
අපි ඉතිහාසයේ අත්දුටු බරපතලම ස්වභාවික ආපදාවකට මුහුණදී සිටිමු. මෙය බොහෝ පුරවැසියන්ට සහය අවශ්‍යව පවතින මොහොතකි. එමෙන්ම වගකීම් සහගගතව මාධ්‍ය සහ සමාජ මාධ්‍යය භාවිතයේඅවශ්‍යතාව වඩාත් අවශ්‍ය වී ඇති මොහොතකි. එබැවින් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ මෙන්ම සමාජ මාධ්‍ය තුළ ද වගකීම් සහගත හැසිරීමේ අවශ්‍යාව වඩාත් ඉස්මතු වී ඇති අවස්ථාවක අන්තර්ගතයන් නිර්මාණය කිරීමේදී බෙදාහැරීමේදී වඩාත් වගකීම් සහගතව කටයුතු කරමු.

මාධ්‍ය නීති සංසදය වෙනුවෙන් සකස් කළේ – නීතිඥ ජගත් ලියන ආරච්චි













