පවතින අධික වැසි තත්ත්වය හමුවේ කළුගඟ ආශ්රිත ප්‍රදේශ කිහිපයක් සඳහා ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (22) පියවර ගෙන තිබේ.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර තවදුරටත් වර්ෂාපතනයක් ඇද හැළෙමින් පවතින බවයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් කළු ගඟ ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණයට අනුව ඉදිරි පැය 48 දක්වා වූ කාලය තුළ බුලත්සිංහල, මදුරාවල හා පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ සහ මගුර ගඟ පිටාර තැන්නට අයත් පහත් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව සඳහන් කර ඇත.
මේ හේතුවෙන් එම පහත්බිම් හරහා වැටී ඇති අතුරු මාර්ග ජලයෙන් යටවීමේ දැඩි අවදානමක් පවතින බවත් මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලනේ යුතුව කටයුතු කරන ලෙසත් එම ප්‍රදේශ ආශ්රිත පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් ඉල්ලා සිටින බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සිය නිවේදයේ වැඩි දුරටත් සඳහන් කරයි.











