දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ජනතාව තුළ හොඳ ප්‍රතිරූපයක් නැතැයි ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් දැක්වූයේ, අද (14) පෙරවරුවේ මරදාන දුම්රිය සාමාන්‍යාධිකාරී කාර්යාලයේ පැවති උත්සව අවස්ථාවකට සහභාගි වෙමිනි. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ පුරප්පාඩුව පැවති දුම්රිය රියදුරු සහ නියාමක යන තනතුරු වෙනුවෙන් විවෘත තරඟ විභාගයන්ගෙන් සුදුසුකම් ලත් පිරිසක් වෙනුවෙන් මෙහිදී පත්වීම් ලිපි ලබාදීම, නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අතින් සිදු කෙරිණි.
දුම්රිය දෙපාර්තමේන්තුවේ කලක පටන් පුරප්පාඩුව පැවති රියදුරු තනතුර වෙනුවෙන් නවක රියදුරන් 85 දෙනකු සහ නියාමකවරුන් හය දෙනකු වෙනුවෙන් මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පත්වීම් ලිපි ලබා දුන්නේය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ප්‍රසන්න ග්‍රණසේන මහතා,
“වර්තමානයේ දුම්රිය ධාවනය ගැන බැලුවම දෛනිකව අවලංගු වන දුම්රිය ගමන්වාර විශාලයි. එක දුම්රියක් අවලංගු වනවා කියන්නේ රටට, සමාජයට වගේම පුද්ගලිකව ජනතාව විශාල පාඩුවක් සිදුවෙන්නේ. මේ හේතූන් නිසාම දුම්රිය සම්බන්ධයෙන් හොඳ ප්‍රතිරූපයක් නෙමෙයි ජනතාව තුළ ගොඩනැගිලා තිබෙන්නේ. දුම්රිය බාර ඇමති විදියට මටත් එවැනිම අපැහැදිලි ප්‍රතිරූපයක් තමයි සමාජය තුළ ගොඩනැගිලා ඇත්තේ. දුම්රිය සේවයේ ගුණාත්මක බව රැකගත හැකි ප්‍රධානම කොටස් අතරින් දෙකක් තමයි රියදුරන් සහ නියාමකවරුන්. ඒ තරම් වැදගත්වූ රැකියාවකට තමයි අද ඔබ මේ පිවිසෙන්නේ”.
“නව රජය ගියවර අයවැයෙන් රජයේ සේවකයන්ගේ වැටුප් වෙනුවෙන් රුපියල් බිලියන 110ක් වෙන්කළා. මෙවර අයවැයෙන් ඒ සඳහා තවත් බිලියන 110ක් වෙන්කළා. 2027 සඳහාත් ඒ සමාන මුදලක් වැටුප් වෙනුවෙන් වෙන්කිරීමට නියමිතයි. මේ සේරම කරන්නේ මහජනතාවට ගුණාත්මක සේවයක් ලබා දෙන්නයි. දුම්රිය සේවයේ සෑම අංශයකම මානව සම්පත් හිඟයක් තියෙනවා. නව රජය පත්වෙලා අපි කරපු ප්‍රථම රාජකාරිය තමයි ඒ හිඟය පුරවන්න කැබිනට් පත්‍රිකාවක් අනුමත කරගැනීම. නමුත් බඳවා ගැනීම සිදුකිරීමට මාස 10ක් ගත වුණා. ඉදිරියේදී මෙවැනි කටයුතු කඩිනමින් සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා.
දුම්රිය රියදුරන් සඳහා පුරප්පාඩු 192ක් තිබුණා. ඒ වෙනුවෙන් අයැඳුම් පත්‍ර 698ක් ලැබී තිබුණා. නමුත් අද එම තනතුර වෙනුවෙන් අපට බඳවා ගන්න හැකි උනේ 88ක් පමණයි. දුම්රිය නියාමකවරුන් සඳහා ඉල්ලුම් පත්‍ර 1302ක් ලැබී තිබුණත්, අදාළ විභාගය සමත්වී තිබුණේ 57ක් පමණයි. නියාමක පුරප්පාඩු 136ක් පැවතුනත් මෙම 57 දෙනා අතරින් අද අපට නියාමකවරුන් වශයෙන් බඳවා ගන්නෙ 06ක් පමණයි. මේ පිළිබඳව අපි වැඩි අවධානයක් යොමුකළ යුතුයි. මෙයට ප්‍රධානම හේතුව තමයි සහතික වලට පමණක් සුදුසුකම් සීමාවීම”.










