ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ සබඳතා පිළිබඳ ලේකම්, අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් /Archbishop Paul Richard Gallagher හිමිපාණන් නිල සංචාරයක් සඳහා අද (03) දින මෙරටට පැමිණි බව විදේශ අමාත්‍යාංශය පවසයි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ආරාධනයෙන් මෙම සංචාරය සිදු කරනු ලබන්නේ, ශ්‍රී ලංකාව සහ ශුද්ධාසනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වන සංවත්සරය සැමරීම සඳහා ය.
මෙම සංචාරය අතරතුර, අගරදගුරු ගැලගර් හිමිපාණන් ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැති හරිනි අමරසූරිය හමුවන අතර විදේශ අමාත්‍ය හේරත් සමඟ නිල සාකච්ඡා පවත්වනු ඇති බව ද විදේශ අමාත්‍යාංශය පවසයි.
රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 50 වන සංවත්සරය සනිටුහන් කරමින් විශේෂ අනුස්මරණ උත්සවයක් කොළඹ ගාලු මුවදොර හෝටලයේ දී පැවැත්වීමට ද නියමිතය.
අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන්, විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ගරු අරුන් හේමචන්ද්‍ර මහතා විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී පිළිගන්නා ලදී.












