කොමිස් මුදල් භාණ්ඩ ආනයනය කර බෙදාහරින අලුත්ම අතරමැදි ව්‍යාපාරික පන්තියකට වාසි සැලසෙන ලෙස ආහාර ද්‍රව්‍ය ආනයන ප්‍රතිපත්තිය වෙනස් කිරීම නිසා දේශීය ගොවියාට යන එන මං නැතිවී ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න පවසයි.
මාතලේ පැවති රැස්වීමක් අමතමින් මන්ත්‍රී රෝහිණී කවිරත්න ප්‍රකාශ කළේ, මාතලේ, අනුරාධපුර හා පොළොන්නරුවේ බී ළුණු ගොවියා අන්ත අසරණ කරමින් බී ළුණු මිලදී නොගන්නා තත්වයට පත්වී තිබෙන බවයි. මෙයට හේතුව බී ළුණු අස්වනු නෙළීමට පෙර සෑම වසරකට රජය විසින් පනවනු ලබන විශේෂ ආයනය බද්ද, නිසි වෙලාවට පැණවීමට වෙළඳ හා මුදල් අමාත්‍යාංශ මැදිහත් නොවීම බව ද ඇය පෙන්වා දුන්නාය.
මේ නව අතරමැදි ව්‍යාපාරික පන්තියට විතරක් රජයේ ආහාර බදු පැනවීම ගැන තොරතුරු රහසිගතව ලැබෙනවා. ඔවුන් අධික ලාබ ලබන්නට සීමාවක් නැතිව ලොකු ළුණු, සීනි, අර්තාපල්, උඳු ගෙන්වනවා. දේශීය ගොවියා වළපල්ලට යනවා. මේ අර්බුදය ආණ්ඩුවේ බලධාරින් සිතා මතා ආර්ථික වාසි ලැබීමට සිදු කළ උප්පරවැට්ටියක්. නව අතරමැදි ව්‍යාපාරක පන්තියක් හදන්න කරපු ජාවාරමක්

රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය මෙසේ ද පැවසුවාය. “2024 වසරේ මුල් මාස අට (8) තුළ මෙට්‍රික් ටොන් 73, 332 ක් වූ ලොකු ළුණු ආනයනය, 2025 වසරේ මුල් මාස අට තුළ මෙට්‍රික් ටොන් 144,551 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගිය වසරට වඩා දෙගුණයක් බී ළුණු ගෙන්වනකල් ආණ්ඩුව නිකං බලාගෙන හිටියා. තවත් මාස 7 කට සෑහෙන ලොකු ළුණු තොග දැන් ලංකාවේ තියෙනවා. ඒ නිසා ගොවියාගේ අස්වැන්න මිලදී ගන්නේ නෑ. කුණු වෙනවා. පැල වෙනවා.
2025 මුල් මාස හයේ දී සීනි මෙට්‍රික්ටොන් 343,416 ක් ආනයනය කළා. 2024 මුල් මාස හයේ දී සීනි මෙට්‍රික්ටොන් 223,144 ක් පමණයි ආනයනය කළේ.
ආහාර ආයනය ව්‍යාපාරයට අලුතෙන් පැමිණි ආයෝජකයින් 2025 වසරේ ගිය වසරට වැඩිය සීනි මෙට්‍රික්ටොන් 120,272 ක් ආනයන කර තිබෙනවා. මෙහි ප්‍රතිඑලය වෙලා තියෙන්නේ, ඇඹිලිපිටියේ සිට සෙවනගල, ඇතිමලේ, අම්පාර දක්වා උක් ගොවියාට සිය නිෂ්පාදන අලෙවි කර ගන්නට බැරිවීමයි. දුඹුරු සීනි විකුණා ගන්න බැරුව ගොඩ ගහලා තියෙද්දී තමයි ගිය වසරට වැඩිය ටොන් 120,272 ක් ආයනය කරනකල් ආණ්ඩුව බලාගෙන හිටියේ. ගිය ආණ්ඩුවේ සීනි බදු වංචාව, මේ අලුත් ජාවාරම පරාදයි.
මේ තොග ආනයනය කර ඇත්තේ කොළඹ පිටකොටුවේ හෝ දඹුල්ලේ හෝ සාම්ප්‍රදායික ආහාර ආනයනකරුවන් නොවෙයි. මේ අවුරුද්දේ කොමිස් පදනම මත ව්‍යාපාරයට පිවිසි ‘නව අතරමැදියන්’ පිරිසකුයි. රජය ඒ අයට අවශ්‍ය ලෙස ආහාර ආනයන ප්‍රතිපත්තිය වෙනස් කරමින් බදු අඩු – වැඩි කරනවා.
වැලිමඩ – නුවරඑළිය අර්තාපල් අස්වනු නෙළීම ආරම්භවන තුරු මෙරට රජය විශේෂ ආනයන බද්ද පැනවූවේ නෑ. අද, කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයේ අල මිල රුපියල් 170 යි. මිලදී ගැනීමට වෙළෙන්දන් නැති නිසා රසම රස දේශීය අර්තාපල් අස්වැන්න විනාශය කරා යනවා. පාරිභෝගිකයා ආනයනික ජරාව කනවා.
මුලතීව්, කිලිනොච්චි, වව්නියා, මොණරාගල, හම්බන්තොට උඳු අස්වැන්න නෙළන විට විදේශ ආයනය වෙළඳපොළට එන තැනට කටයුතු කරලා උඳු ගොවියෝ විනාශයට ගෙනල්ලා තියෙනවා.
මේ නව අතරමැදි ව්‍යාපාරික පන්තියට විතරක් රජයේ ආහාර බදු පැනවීම ගැන තොරතුරු රහසිගතව ලැබෙනවා. ඔවුන් අධික ලාබ ලබන්නට සීමාවක් නැතිව ලොකු ළුණු, සීනි, අර්තාපල්, උඳු ගෙන්වනවා. දේශීය ගොවියා වළපල්ලට යනවා. මේ අර්බුදය ආණ්ඩුවේ බලධාරින් සිතා මතා ආර්ථික වාසි ලැබීමට සිදු කළ උප්පරවැට්ටියක්. නව අතරමැදි ව්‍යාපාරක පන්තියක් හදන්න කරපු ජාවාරමක්”.







