මේ අවස්ථාවේ TIN අංකය අත්‍යාවශ්‍ය නම් පමණක් ලබා ගන්න – දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක නන්දන කුමාර මහතා

මේ මොහොතේ TIN අංකය අත්‍යාවශ්‍ය පිරිස් පමණක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්යාල වෙත පැමිණ TIN අංකය ලබාගෙන, අනවශ්‍ය තදබදය අවම කර ගැනීමට සහාය වන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවගෙන් ඉල්ලා සිටී.

එම නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේත

2026 නොවැම්බර් 01 වන දින සිට ආර්ථික ක්‍රියාකාරකම් 8ක් සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) අනිවාර්ය කර ඇත. මේ හේතුවෙන් බොහෝ මහජනතාව ටින් සහතිකය ලබා ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණෙමින් සිටීම නිසා අනවශ්‍ය තදබදයක් ඇති වෙමින් පවතියි. මේ නිසා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාල පරිශ්‍රයන්හි පවතින තදබදය අවම කරමින් මහජනතාවට කාර්යක්ෂම සේවාවක් සැලසීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් පහත මාර්ගෝපදේශ ඉදිරිපත් කරනු ලබයි:

  • අත්‍යවශ්‍ය පුද්ගලයින් පමණක් පැමිණීම: අදාළ ආර්ථික ක්‍රියාකාරකම් සඳහා TIN අංකය අත්‍යවශ්‍යම පුද්ගලයින් පමණක් මේ මොහොතේ ප්‍රධාන හා ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණ එය ලබා ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.
  • මාර්ගගත (Online) ක්‍රමයට අයදුම් කිරීම: මෙතෙක් TIN අංකයක් ලබාගෙන නොමැති අනෙකුත් පුද්ගලයින්ට මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ TIN අංකය ලබා ගැනීමට පහසුකම් සලසා ඇත.
  • දැනට නිකුත් කර ඇති TIN අංකය පරීක්ෂා කිරීම: ඔබට දැනටමත් TIN අංකයක් නිකුත් වී ඇත්දැයි පරීක්ෂා කර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තු වෙබ් අඩවියට පිවිස ඔබේ TIN අංකය පරීක්ෂා කර ගත හැක.
  • තහවුරු කිරීමේ සටහනේ පිටපත භාවිතය: වෙබ් අඩවියේ තිරයේ TIN අංකය දැක්වෙන මොහොතේ එම සටහනේ පිටපතක් TIN අංකය වෙනුවෙන් භාවිත කිරීමට හැකියාව පවතී.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිශ්චිත ආර්ථික කාර්යයන් 08ක් සඳහා 2026 නොවැම්බර් මස 01 වැනි දා සිට TIN අංකය අනිවාර්යය බව 2026 සැප්තැම්බර් මස 22 වන දින සිට ජනතාව දැනුවත් කරන ලදි. එම නිශ්චිත ආර්ථික කාර්යයන් පහත පරිදි වේ.

  • බැංකුවක හෝ මූල්‍ය ආයතනයක යම් ගිණුමක් විවෘත කිරීම
  • ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබා ගැැනීම
  •  මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීම
  •  මෝටර් වාහන බලපත්‍රය අලුත් කිරීම 
  • ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කිරීම
  • ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම
  •  ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක කොටස් පැවරීම, පැවරුම්ලාභියකු සහ පැවරුම්කරුවකු විසින් සිදුකරන    විට
  • ණය කාඩ්පතක් ලබා ගැනීම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website