
වත්මන් රජයේ ආර්ථික සහ සමාජයීය ගමන්මඟ වන්නේ ග්‍රාමීය ජනතාව නගරවලට කැඳවීම නොව, ගම තුළ ආර්ථික අවස්ථා නිර්මාණය කිරීම සහ පහසුකම් ලබා දීම බවත්, එහිදී ගම සහ නගරය අතර ඉතා දියුණු මාර්ග පද්ධතියක්, හොඳ සන්නිවේදන පද්ධතියක්, කාර්යක්ෂම සහ ශක්තිමත් රාජ්‍ය සේවාවක් ස්ථාපිත කිරීම අරමුණ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ග්‍රාම නිලධාරී සේවයේ III වන ශ්‍රේණිය සඳහා සුදුසුකම් ලැබූ නිලධාරීන් 1,540 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්රදානය කිරීමේ අවස්ථාවට අද (08) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී එක් වෙමිනි.
වත්මන් ආණ්ඩුව රාජ්‍ය සේවයට ඉතා ගෞරව කරන ආණ්ඩුවක් මෙන්ම රාජ්‍ය සේවය යහපත් වැටුප් තලයක පිහිටුවිය යුතු බව අපේක්ෂා කරන ආණ්ඩුවක් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉතා අසීරුතම තත්ත්වයක් හමුවේ වුවද මූලික වැටුප් වැඩි කිරීමට සහ දීමනා වැඩිකිරීමට කටයුතු කළේ එබැවින් බවද පැවසීය.
නව ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව, ප්‍රථම වතාවට ග්‍රාම නිලධාරී සේවයේ III වන ශ්‍රේණිය සඳහා තේරී පත් වූ නිලධාරීන් 1,540 දෙනෙකු සඳහා මෙලෙස පත්වීම් ප්රදානය කෙරුණු අතර, විභාග ප්‍රතිඵල සහ සම්මුඛ පරීක්ෂණවල කුසලතාවයන් පමණක් සැලකිල්ලට ගනිමින් සුදුස්සන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ ප්‍රතිපත්තියට අනුව මෙම බඳවා ගැනීම් සිදු කර තිබීම විශේෂත්වයකි.
දීර්ඝ කාලයක් තිස්සේ නොවිසඳුනු ගැටලු රැසකට විසඳුම් ලබා දෙමින් ග්‍රාම නිලධාරී තනතුර සඳහා ඔවුන්ටම අනන්‍ය වූ සේවාවක් යටතේ, ඔවුන්ට අනන්‍ය වූ වැටුප් ව්‍යුහයක් සහිතව ග්‍රාම නිලධාරී සේවය යළි ස්ථාපිත කිරීමට වත්මන් රජය යටතේ කටයුතු කෙරිණි.එහිදී ඒ වන විට ලබමින් සිටි වැටුපට වඩා වැටුප් පියවර කිහිපයක් ඉදිරියෙන් තැබීමට සහ විවිධ අවශ්‍යතා සඳහා ලබා දුන් දීමනා ප්‍රමාණවත් ලෙස වැඩි කිරීමටද කටයුතු කර ඇත.
දිස්ත්‍රික් මට්ටමින් ප්‍රථම ස්ථානය දිනාගත් 28දෙනා සඳහා සංකේතාත්මකව පත්විම් ලිපි ප්රදානය කිරීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා;
අද ඔබ ප්‍රවිෂ්ට වන්නේ ලංකාවේ ඉතාමත් වැදගත් වෘත්තියකටයි. අපේ රටේ ජනතාවගේ දෛනික ජීවිතයත් සමඟ ඉතාමත් සමීපව වැඩ කරන රාජ්‍ය නිලධාරියා කවුද කියලා ඇහුවොත්, ඒ අපේ ග්‍රාම නිලධාරී මහත්මයා හෝ මහත්මියයි. ගමක සාමාන්‍ය ජනතාවගේ ජීවිතයත්, රාජ්‍යයත් අතර තිබෙන සබඳතාවය සහ රජය විසින් ලබා දෙන සේවාවන් සියල්ල කේන්ද්‍රගත වන්නේ ග්‍රාම නිලධාරීන් මගිනුයි.
ඔබ අපිට වැදගත් වන්නේ, හුදු ගම භාරව වැඩ කරන නිලධාරියා ලෙස පමණක් නොවෙයි. ඔබ අපට වැදගත් වන්නේ අපි සකස් කර තිබෙන ආර්ථික සහ සමාජයීය දැක්ම නිසයි. ලෝකයේ සෑම රටක්ම නගර කේන්ද්‍ර කරගත් අධික ජනගහනය නිසා ඇතිවන අර්බුදයට අද මුහුණ දී තිබෙනවා. එය අද ලෝකයේ දියුණුයැයි සම්මත රටවල් මෙන්ම නොදියුණු රටවල්ද මුහුණ දී තිබෙන ගැටලුවක්. ග්‍රාමීය මට්ටමින් ආර්ථික අවස්ථා සහ සේවාවන් ඉටු කිරීමට අසමත් වූ විට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ගම් අතහැර නගරවලට කේන්ද්‍රගත වුණා. “වෛරයේ මිදි ඵල” පරිවර්තනයේ ඉතා හොඳින් පැහැදිලි කරනවා ඈත පළාත්වල ජීවත් වන ජනතාව තමන්ගේ ආර්ථික අවස්ථා අහිමි වන විට මග දිග මිය යමින් විශාල දුෂ්කරතාවලට මුහුණදෙමින් නගරවලට කේන්ද්‍රගත වූ අන්දම. එය අද ලෝකයේ බොහෝ රාජ්‍යයන් මුහුණ දී තිබෙන ගැටලුවක්.
හැබැයි එම ගැටලුවේදී අපි වාසනාවන්ත වී තිබෙනවා. අපේ රටේ තාමත් බහුතරයක් ජනතාව ජීවත් වන්නේ ග්‍රාමීය ප්රදේශවලයි. එසේනම් අපේ ආර්ථික සහ සමාජ ගමන්මඟ වන්නේ කුමක්ද, අපේ ගමන්මඟ කිසිසේත්ම ග්රාමීයව ජිවත්වන ජනතාව නගරවලට කැඳවීම නොවෙයි. එම උපායමාර්ගය අසාර්ථක වී ඇති බව දැන් පෙන්නුම් කෙරෙනවා. එසේනම් අපේ සංවර්ධන මාවත වන්නේ ගමේ ජනතාව නගරයට කැඳවීම නොව, ගමේ සිටින ජනතාවට ගම තුළදීම ආර්ථික අවස්ථා නිර්මාණය කිරීම සහ පහසුකම් ලබා දීමයි.
එහිදී ගම සහ නගරය අතර ඉතාමත් දියුණු මාර්ග පද්ධතියක් අවශ්‍යයි. ඒ වගේම ගම සහ නගරය අතර හොඳ සන්නිවේදන පද්ධතියක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් ඉදිරි අවුරුදු තුන ඇතුළත මුළු රටම ආවරණය වන පරිදි සන්නිවේදන පද්ධතිය ස්ථාපිත කිරීමට, අපි ඩිජිටල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර, තීරණය කර තිබෙනවා. ඒ වගේම ග්‍රාමීය ජනතාවට ලබා දෙන සේවාවන් ඉතා වේගවත්ව සහ පහසුකම් සහිතව ඉටුවිය යුතුයි. ඒ නිසා අපේ අපේක්ෂාව ගමේ ජනතාව ගම තුළ තබා ගනිමින් ඔවුන්ගේ ආර්ථික සහ සමාජයීය අවශ්‍යතා සම්පූර්ණ කිරීමයි.
එහිදි ග්‍රාම නිලධාරී මහත්වරුන්ට විශාල වැඩකොටසක් පැවරෙනවා. එම සේවාවන් සැපයීමේදී ගෙයින් ගෙට යාම, වගේම පුරවැසියන් පැමිණ ග්‍රාම නිලධාරී කාර්යාලයේ රස්තියාදුවීම සීමා විය යුතුයි. හැබැයි මෙම ඩිජිටල්කරණය ක්‍රියාවලියේදී කිසිසේත්ම මිනිසුන් අතර තිබෙන මානුෂීය සබඳතා සහ හැඟීම් දැනීම් බිඳ නොවැටෙන පරිදි තුලනයක් පවත්වා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා.
ඒ වගේම රාජ්‍ය සේවයේ කාර්යයන් ආකාර තුනකට බෙදා වෙන් කර ඩිජිටල් පද්ධතියට ඇතුළත් කිරීමට සැලසුම් කර තිබෙනවා. ග්‍රාම නිලධාරී මට්ටමින්ම අවසන් වන කාර්යයන්, ග්‍රාම නිලධාරී ලබා දෙන සහතිකය මත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අවසන් වන කාර්යයන්, ග්‍රාම නිලධාරී සහ ප්‍රාදේශීය ලේකම්ගේ සහතිකය මත වෙනත් රාජ්‍ය ආයතනයකින් ඉටුකෙරෙන කාර්යයන් ලෙස, මේ සඳහා අවශ්‍ය ඩිජිටල් පද්ධතිය ගොඩනැගීමට ඩිජිටල් අමාත්‍යාංශය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සාකච්ඡා කර තිබෙනවා. ලබන වසරේදී දිස්ත්‍රික්ක දෙකක් තෝරාගෙන නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ආරම්භ කිරීමට අවශ්‍ය මුදල් ඉදිරි අයවැයෙන් වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම අපිට ශක්තිමත් රාජ්‍ය සේවාවක් අවශ්‍යයි. ලෝකයේ සෑම දියුණු රටක්ම ඉදිරියට ගියේ ශක්තිමත් රාජ්‍ය සේවයක් මගින්. හැබැයි අද අපේ රාජ්‍ය සේවයේ යෙදෙන නිලධාරීන් මෙන්ම සේවාවන් ලබාගන්නා පුරවැසියන්ද පසුවන්නේ යම් තෘප්තිමත් භාවයක නොවෙයි. රාජ්‍ය සේවය තුළ තනතුරු සහ පුටු පිළිබඳ තරගයක් ඇතිවී තිබෙනවා. එමෙන්ම පැරණි පරිගණක, පැරණි වාහන සහ අබලන් වූ ගොඩනැගිලි නිසා රාජ්‍ය සේවය යම් බිඳවැටීමකට ලක්ව තිබෙනවා.මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා රජයක් ලෙස අපි පියවර ගනිමින් සිටිනවා.
රාජ්‍ය සේවයට අවශ්‍ය කැබ් රථ 1,750ක් හඳුනාගෙන ඇති අතර, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්ට අවශ්‍ය වාහන ඉක්මනින් ලබා දීමට කටයුතු කරනවා. ඩිජිටල්කරණයට අවශ්‍ය පරිගණක සහ අංගඋපාංග ප්‍රමාණය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් ලබා දීමට කටයුතු කරනවා. රාජ්‍ය ආයතන ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කළ යුතුයි. ඒ වගේම අලුතින් ගොඩනැගිලි ලබා දිය යුතුයි. ඒ අනුව සෙත්සිරිපාය 3 වෙනි අදියර අවසන් කිරීමට සහ 4 වෙනි අදියර ආරම්භ කිරීමට අයවැයෙන් මුදල් වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි භූමිය කළමනාකරණය කර ගත යුතුයි. එහිදි ලොකු ගොඩනැඟිලිවලට අප තුළ තිබෙන කැමැත්ත වෙනස්කර ගත යුතුයි කියා මම විශ්වාස කරනවා. එබැවින් කාර්යාල සඳහා කොපමණ ඉඩ පහසුකම් අවශ්‍යද, එම නියමිත භූමි ප්‍රමාණයන් පිළිබඳ විධිමත් සංගණනයක් සිදු කර, කාර්යාල පහසුකම් සැකසීමේ වගකීම ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී වෙත පවරා තිබෙනවා.
අපේ රාජ්‍ය සේවයේ දැනට පවතින වැටුප් තල ප්‍රමාණවත් නැති බව මම පිළිගන්නවා. ඒ නිසා ඉංජිනේරුවන්, තොරතුරු තාක්ෂණ විශේෂඥයන්, නීති නිලධාරීන් වැනි දක්ෂ වෘත්තිකයන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ දුෂ්කරතාවයක් පවතිනවා. හැබැයි රාජ්‍ය සේවකයින්ගේ වැටුප් රුපියල් 10කින් වැඩි කළහොත් මාසයකට රුපියල් මිලියන 13ක අමතර වැයබරක්ද, රුපියල් 100කින් වැඩි කළහොත් බිලියන 1.3ක වැයබරක්ද ඇති වෙනවා. එම නිසා රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය වැඩි කරමින් එහි ප්‍රමාණය කුඩා කළ යුතුයි කියා අපි හඳුනාගෙන තිබෙනවා. එහිදී කිසිසේත් අපි රාජ්‍ය සේවය අත්හරින්නේ නැහැ. රාජ්‍ය සේවය අත්‍යාවශ්‍ය වන අතර, එය දියුණු කළ යුතුයි යන්න අපේ ප්රතිපත්තියයි. හැබැයි මේ සේවය ලබා දීමට සිටින යාන්ත්‍රණය තව කුඩා විය යුතු බව අපි විශ්වාස කරනවා.
ඒ අනුව අගමැතිතුමියගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මගින් රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීමට සැලසුම් කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශය විසින් හඳුනාගත් ආයතන 33ක් වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා වන්දි දීමනාවක් ලබා දීමට අපි තීරණය කර තිබෙනවා. ඒ වගේම ඒකාබද්ධ කළ යුතු ආයතන රැසක් හඳුනාගෙන තිබෙනවා. ජනතාවට රාජ්‍ය සේවය බරක් නොවිය යුතුයි. හැබැයි අපි ජනතාවට කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ලබාදිය යුතු බව පිළිගත් ආණ්ඩුවක්.
ඒ නිසා රාජ්‍ය සේවය ඉතා හොඳින් කළමනාකරණය කිරීමට නම් මෙය තවත් කුඩා විය යුතුයි. හොඳ දක්ෂතා සහිත කණ්ඩායම් ගෙන ඒමට නම් යහපත් වැටුප් තලයක පිහිටුවිය යුතුයි.
අපි පළමු අයවැය ලේඛනයෙන්ම අදියර තුනකින් රාජ්‍ය සේවකයන්ගේ මුලික වැටුප වැඩි කිරීමට තීරණය කළා. ඒ අනුව 2027 වන විට වැටුප් වැඩි කිරීමට පමණක් රුපියල් බිලියන 330ක වැය බරක් දරනවා. අපි අනෙක් දීමනා පිළිබඳ අවධානය යොමු කළ යුත්තේ ඉන් පසුවයි. මම හිතන්නේ මෙහිදී සියලු දෙනා සාධාරණ විය යුතුයි. අපි හොඳ මූලික වැටුප් වැඩිවීමක් ලබා දී තිබෙනවා. ඒ වගේම ග්‍රාම නිලධාරී දීමනා ඉහළ නංවා තිබෙනවා. කාර්යාල දීමනාව රුපියල් 1,000 සිට රුපියල් 2,000 දක්වා වැඩි කර තිබෙනවා.නිල ඇඳුම් දීමනාව රුපියල් 5,000 සිට රුපියල් 15,000 දක්වා වැඩි කර තිබෙනවා. ලිපිද්‍රව්‍ය මිලදී ගැනීමේ දීමනාව රුපියල් 1,500 සිට රුපියල් 3,000 දක්වා වැඩි කර තිබෙනවා.
මෙම නොවැම්බර් 12වෙනිදා අපි ඊළග අයවැය ලේඛනය ඉදිරිපත් කරනවා. එම අයවැය ලේඛනයේදී අපි සලකා බලන්නේ 2027 වසරේ මූලික වැටුප් වැඩිකිරීම සඳහා අවශ්‍ය රුපියල් බිලියන 330 තුලනය කර ගන්නේ කොහොමද කියලයි. ඉන්පසුව තමයි දීමනා සඳහා කොපමණ වැය බරක් දැරිය හැකිද කියා අවධානය යොමු කරන්නේ.
රාජ්‍ය සේවයට සාධාරණ වැටුපක් ලැබිය යුතු බව මම පිළිගන්නවා. හැබැයි මේ වැටුප් ලබා දෙන්නේ ජනතාවගේ බදු මුදල්වලින්. මේ බදු ප්‍රතිශත අඩු කිරීමේ ඉලක්කයක් ඇතිවයි අපි වැඩ කරන්නේ. ඉදිරි වසර දෙක තුන ඇතුළත වැට් බදු (VAT) බදු ප්‍රතිශතයන් අඩු කරමින් ජනතාවට සහන සැලසීම අපගේ ඉලක්කයයි. ළමයෙක් පොතක් අරගෙන කියවන විට බද්දක් ගෙවිය යුතුද, අපි එය ඉවත් කළ යුතුයි. එම ඉලක්කයන් සමග තමයි වියදම් කළමනාකරණය කරගත යුතු වන්නේ. අපි ඉතා හොඳ මූලික වැටුප් වැඩිවීමක් සිදු කර තිබෙනවා. ඇහුම්කන් දෙමින් දීමනා වැඩි කර තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරමු. අපි කිසිසේත් රාජ්‍ය සේවය දේශපාලනීකරණය කිරීමට බලාපොරොත්තු වන්නේ නැහැ. අපිට මේ රට පිළිබඳ සුබදායී බලාපොරොත්තුවක් තිබෙනවා. එහිදී අපේ රාජ්‍ය සේවයට විශාල වගකීමක් තිබෙනවා.
රජයක් ලෙස අපිට ප්‍රතිපත්ති සම්පාදනය කළ හැකි අතර පාර්ලිමේන්තුවෙන් අයවැය සම්මත කළ හැකියි. හැබැයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගම දක්වාම ක්‍රියාත්මක කිරීමේ වගකීම තිබෙන්නේ රාජ්‍ය යාන්ත්‍රණයටයි. එහිදී ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි.
අද පත්වීම් ලබන ඔබ ජනතාවගේ සමීපතම රාජ්‍ය නිලධාරියායි. අසරණකමකදී, ව්‍යසනයකදී, දරුවෙකුගේ උපතේදී මෙන්ම මරණයකදීත් මහජනයා පළමුවෙන්ම සොයා යන්නේ ග්‍රාම නිලධාරී මහත්මයා හෝ මහත්මියයි. ඒ නිසා රාජ්‍යයේ විශාල වැඩකොටස ජනතාව සමග සහ සම්බන්ධය හදා ගන්නේ ග්‍රාම නිලධාරී මහත්වරුන්. ඒ නිසා ඔබ එක් වන්නේ විශාල ගෞරවයක් සහිත මහජනතාවගේ බර කරට ගත් වෘත්තියකටයි. ඒ නිසා ගමේ ජනතාව සහ ග්‍රාම නිලධාරීවරයා අතර පැවති සාම්ප්‍රදායික, ආදරණීය සහ ගෞරවනීය සබඳතාවය නැවත අලුතින් ගොඩනැගීමට ඔබට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කරමින් ඔබගේ නව වෘත්තීය ජීවිතයට සුබ පතනවා.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්.අබයරත්න මහතා;
පසුගිය වසරේ ග්‍රාම නිලධාරි සේවයේ විධිමත් සේවා ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීමෙන් අනතුරුව ග්‍රාම නිලධාරී සේවයට එක් වන පළමු කණ්ඩායමයි මේ. ඒ වගේම සුදුසුකම් සහ දක්ෂතා පමණක් පදනම් කර ගෙන රාජ්‍ය සේවයට බඳවා ගන්නා තවත් එක් කණ්ඩායමක්. මේ කරුණු දෙක මත අද දවස ෙඑතිහාසික දවසක් බවට පත් වෙනවා. අපේ රටේ ආර්ථිකය සංවර්ධනය කිරීමට විශාල උත්සාහයක නිරත වන අතරම, දේශපාලන සංස්කෘතියද වඩාත් සාධනීය සංස්කෘතියක් බවට පත් කිරීමට දරණ උත්සාහයේ තවත් එක් පියවරක් ලෙස මෙම අවස්ථාව හැඳින්විය හැකියි.
මේ සේවය ක්‍රි. පූ 4වන සියවස දක්වා දිව යන දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන බව ඔබ දන්නවා. ඒ අනුව රාජ්‍ය සේවය තුළ ග්‍රාම නිලධාරී සේවය කොතරම් වැදගත්, ගෞරවණීය සේවයක්ද යන්න ඔබට වැටහෙනු ඇති. මේ යුගය අපට විශේෂ තත්ත්වයක් නිර්මාණය කර දී තිබෙනවා. මීට වසර තුන හතරකට පෙර මේ රටේ පුරවැසියන් නව ක්‍රමයක් පිළිබඳව අපේක්ෂාවක් ඇති කර ගත්තා. සිස්ටම් චේන්ජ් එකක් වෙනුවෙන් ඔවුන් පෙනී සිටියා. ඔබ මේ පත්වීම් ලබන්නේ ඒ වෙනස වෙනුවෙන් ජනතාව බලාපොරොත්තු දල්වා ගෙන සිටින මොහොතකයි, මේ රටේ ජනතාව ප්‍රාර්ථනා කළ එම වෙනස සඳහා ඔබේ සක්‍රීය දායකත්වය අවශ්‍ය මොහොතකයි. මෙරට සියලු පුරවැසියන් වෙනුවෙන් ඔබට පැවරෙන්නේ දැවැන්ත වගකීමක්. අද ඔබ කරන කියන දේ තමයි අනාගතයේදී ඉතිහාසය වන්නේ. ඒ අනුව මෙය ඉතිහාසය අලුතින් ලියවෙන යුගයක්ද වෙනවා.
අපේ රටේ ජනතාව විවිධ දුෂ්කරතාවලට මුහුණ දුන්නා. යුද්ධය වෙනුවෙන් ලේ, කඳුළු වැගිරුවා. ආර්ථික අර්බුදයේදී ඔවුන් සිය මූලික අවශ්‍යතා පවා කැප කළා. එවන් ජනතාවක් වෙනුවෙන් රාජකාරියකින්, සේවාවකින් ඔබ්බට ගිය දැවැන්ත වගකීමක් ඉටු කළ යුතු අවස්ථාවක් ඔබට හිමි වී තිබෙනවා. එවන් අවස්ථාවක් මෑතකදී දිට්වා ආපදාවේදී අප අත්දුටුවා. එම නිලධාරීන්ට ස්තූතිය පිරිනමන අතරම, ඒ ආදර්ශය ඔබත් ලබා ගත යුතු බව මා මෙහිදී සිහිපත් කරන්න කැමතියි.
සිස්ටම් චේන්ජ් එකකට නම් මුලින්ම වෙනස් විය යුත්තේ අපියි. තනි තනිවම වෙනස් විය යුතුයි. මේ පත්වීම් ලබන ඔබත්, දෙමව්පියන් ඇතුළු හිතවතුන් අද ලබන සතුට, ඔබ විශ්‍රාම යන දිනයේදීත් ඒ අයුරින්ම ලැබිය හැකිනම් රාජකාරියට වඩා සමාජ වගකීමක් ඉටු කළ බවට ඔබට තෘප්තිමත් විය හැකියි. ශක්තිමත් ආර්ථිකයක් වගේම ශක්තිමත් සමාජ පදනමක් සහිත ශ්‍රී ලාංකික ජාතියක් වෙනුවෙන් ඔබේ සේවය ලබා දෙන ලෙස අද දින පත්වීම් ලබන ඔබ සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටිනවා.
පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා ඇතුළු නියෝජ්‍ය අමාත්‍යවරුද, පළාත් ආණ්ඩුකාරවරු සහ ප්‍රධාන ලේකම්වරුද, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සහ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුද, දිස්ත්‍රික් ලේකම්වරු, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.














