විවෘත වරෙන්තු මත සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට

පසුගිය 01 වැනිදා අභියාචනාධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කරන ලද ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (03) තිනියාවල ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු වී සිර දඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය පසුගිය 01 වැනිදා විවෘත වරෙන්තු නිකුත් කළ අතර ඥානසාර හිමි විදේශ ගත වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් විදේශ ගමන් තහනමක්ද නිකුත් කළේය.

ජනාධිපති සමාව අහෝසි කරනු ලැබූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පවතින සිර දඬුවම ක්‍රියාත්මක කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා ගොනුකර තිබෙන මෝසමක් (සැප්: 29) අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබීය. මෙම මෝසම කැඳවනු ලැබුවේ, මායාදුන්නේ කොරයා සහ ලක්මාලී කරුණානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ය. එම අවස්ථාවේදී ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ සඳහන් කළේ, සිය සේවාදායක හිමියන් අසනීප තත්ත්වයෙන් විවේක ගන්නා බවත්, මෙම මෝසම පිළිබඳව අධ්‍යයනය කර කරුණු දැක්වීම සඳහා තමන්ට දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේ ය. එහෙත්, රජයේ නීතිඥ සජිත් බණ්ඩාර සඳහන් කළේ, මෙය අපරාධ නඩුවක් බව ය. එහෙයින්, විත්තිකරු අධිකරණයට නොපැමිණෙන්නේ නම් වරෙන්තු නිකුත් කරන ලෙස රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website