ඩිජිටල් අත්සන සහ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම ආරම්භ වේ

ශ්‍රී ලංකා රේගුවේ සුවිශේෂී පරිවර්තනයක් සිදුකරමින් ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශය සහ ශ්‍රී ලංකා රේගුව එක්ව හඳුන්වා දෙනු ලබන ඩිජිටල් අත්සන සහ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය (Paperless Customs Declaration Processing System) ක්‍රියාත්මක කිරීම ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවිර සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා රේගුවේ ශ්‍රවණාගාරයේ දී අද (01 ) නිල වශයෙන් ආරම්භ විය.

ඒ අනුව, අද දින සිට සියලු ආනයනකරුවන් සහ ප්‍රකාශකයින් විසින් සිය රේගු ප්‍රකාශන සහ අනෙකුත් අදාළ ලිපිගොනු වලංගු ඩිජිටල් අත්සන සහිතව යොමු කිරීම අනිවාර්ය කෙරේ. ඒ සමගම පැරණි ක්‍රමයට යොමුකරනු ලබන රේගු ප්‍රකාශන භාර ගැනීම තවදුරටත් සිදු නොවනු ඇත. මෙම ඩිජිටල් අත්සන් සහ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය මගින් රේගු නිශ්කාෂණ ක්‍රියාවලිය යටතේ වඩාත් කාර්යක්ෂම, වේගවත් සහ විනිවිදභාවයෙන් යුතු සේවයක් ලබාදීමට හැකිවනු ඇති අතර එමගින් වංචා දූෂණ අවම කරගැනීමට හැකිවනු ඇත. මේ වන විට මෙම ක්‍රියාවලියට සමාගම් 1144ක් සම්බන්ධ වී සිටී.

මෙහිදී අදහස් දැක්වූ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා ;

අද වසර දෙසීයක රේගු ඉතිහාසයේ සුවිශේෂි මං සළකුණක් තබන දවසක්. ඩිජිටල් අත්සන සහ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය, ව්‍යාපාරිකයන්ට, ආයෝජකයන්ට සියලුම කටයුතු එක කවුලුවකින් ඉටු කරගත හැකි ජාතික තනි කවුලුවක් ස්ථාපිත කිරීමේ ඉලක්කයට ගමන් කරන වැදගත් සන්ධිස්ථානයක් වෙනවා. මේ තුළින් මාර්ග ගත ක්‍රමය ඔස්සේ ආනයන අපනයන කටයුතු ඇතුළු සියළු රේගු කටයුතු ඉටුකර ගත හැකි වෙනවා. එය ජනතාවගේ මෙන්ම ව්‍යාපාරිකයන්, ආයෝජකයන්, සියළු දෙනාගේ කාලය, මුදල් මෙන්ම සම්පත්ද ඉතිරි කරදෙන ක්‍රමවේදයක්.

රේගුව මේ වන විට මේ වසරේ ආදායම් ඉලක්ක අභිබවා යමින් සිටිනවා. මේ වසරේ ලබාදී තිබෙන රුපියල් බිලියන 2207ක ඉලක්කය ආසන්නයටම මේ වන විටත් පැමිණ තිබෙනවා. ගිය වසරේදිත් ඔබ ආයතනය ඒ අයුරින්ම ඉලක්කය පසු කළා. ඔබ පමණක් නෙවෙයි සියලුම ආදායම් උපයන ආයතන තමන්ගේ ඉලක්ක පසු කළ නිසා රටේ ආර්ථිකය ශක්තිමත් වුණා. ඒ නිසා අපට දිට්වා ආපදාවේදි ඊට හොඳින් මුහුණ දීමට හැකි වුණා. අඩුම අය වැය හිගය සහිත අය වැයක් ඉදිරිපත් කරන්න හැකි වුණා. මැද පෙරදිග යුධ තත්වය තුළ ඉන්ධන මිල ඉහළ ගියත් එය රටේ ආර්ථිකයට බරපතල හානියක් සිදු නොකරන ලෙස පාලනය කරගැනීමට හැකි වුණා.

මෙතෙක් රුපියල් බිලියන 1300-1400 සීමාවේ තිබූ ප්‍රාග්ධන වියදම් ලබන වසරේදි රුපියල් බිලියන 2000ක දක්වා වැඩි කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අමතක කරන්න එපා! අපි පසු කලේ රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්න භාණ්ඩාගාරයට මුදල් එකතු වෙනතුරු බලාගෙන සිටි යුගයක්. ඒ යුගය පසුකර මේ තත්වයට පැමිණීමට රේගු දෙපාර්තමේන්තුව ඇතුළු ආදායම් රැස්කරන ආයතන දැක්වු සුවිශේෂී දායකත්වය විශාල සහායක් වුණා.

ලබන වසරේදී අපේ බදු ක්‍රමය වඩාත් සරළ හා පහසු කිරිමට සැලසුම් කර තිබෙනවා. රේගු බද්දට අමතරව අය කරන වෙනත් බදු ඉවත් කර ක්‍රමානුකූලව බදු සරල කිරීමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනවා. අනෙකුත් ආයතනවලට ආදාළවත් එවැනි සරල ක්‍රම අනුගමනය කරනවා. තොරතුරු තාක්ෂණ පද්ධතිය ආයතනවලට බද්ධ කරගැනීම වේගවත් කරනවා. ඒ යන ගමනේ එක් සන්ධිස්ථානයක් ලෙස තමයි අද මේ ආරම්භ කරන ලද කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය අපි දකින්නේ.

ජනාධිපති ලේකම්, ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ;

රටක ආර්ථික වර්ධනය ඉහළට එසවීමට ජාත්‍යන්තර වෙළඳාම ප්‍රසාරණය කර ගැනීම වැදගත්. ඒකට ඇති බාධා ඉවත් කළ යුතුයි. එහිදී විශේෂයෙන්ම වෙළඳ පහසුකම් වැඩි කිරීම , එම කටයුතු වලදී දැරීමට සිදුවන වියදම් හා ගත කෙරෙන කාලය අඩු කිරීම වැදගත් වෙනවා. මේ කාරණය පිළිබඳ විශේෂ අවධානය යොමු කර රේගු දෙපාර්තමේන්තුව ඇතුළු ආදායම් රැස්කරන ආයතන කෙරෙහි වැඩි අවදානයක් යොමු කිරිම සහ අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය තුළ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නව්‍යකරන කාර්යාංශය ස්ථාපිත කර තිබෙනවා.

මේ කාර්යාංශය හරහා ආදායම් රැස්කරන ආයතන තුනේම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ශක්තිමත් කිරිමට, එයට ඇතිවන බාධා ඉවත් කර ඒ ක්‍රියාවලිය විධිමත් කර ගැනීමට උදව් කරනවා.

මේ ආදායම් රැස්කරන දෙපාර්තමේන්තු ධනාත්මක ප්‍රවනතාවයක් පෙන්නුම් කර තිබෙනවා. ඔවුන් ආදායම් ඉලක්ක අභිබවා යමින් සිටිනවා. විශේෂයෙන්ම රේගුව ලබන මාසේ කාර්තුව අවසන් කරන විට මේ වසරේ ඉලක්කය පසු කරන මට්ටමකට පැමිණ සිටිනවා. ශ්‍රී ලංකා රේගුව දකුණු ආසියාවේ නොව ආසියාවේම කැපී පෙනෙන රේගු ආයතනය බවට පත් කිරීමට මේ ක්‍රියාවලිය තුළ හැකියාව ලැබේවි යැයි අප විශ්වාස කරනවා.

ශ්‍රී ලංකා රේගුව ක්‍රමානුකූලව ඉහළ සංවර්ධනයක් කරා ගමන් කර තිබෙනවා. කාලෙන් කාලයට සිදුවන ප්‍රතිසංස්කරණ වලදී යම් කැළඹීම්, විචිකිච්චාවන් ඇති වුණත් කාලයක් ගත වන විට ඒ වෙනස කෙතරම් හොඳදැයි හිතෙනවා. මේ කඩදාසි රහිත ක්‍රමය ගැන කතා කරනකොට එවැනි වැරදි අදහස් මතු වුණා. ඇතැම් අයට රැකියා අහිමි වන බවට මත පළ වුණා. මේ නිසා සමහර සමාගම් ආයතනික ක්‍රමවේද වෙනස් කරන්න සිදුවෙනවා කියලා කිව්වා. නමුත් අද ඒ සියළු දෙනා එක තැනකට ගෙන ඒමට අපි කටයුතු කර තිබෙනවා. රේගුව තැබූ මේ ඉදිරි පියවර ගැන අපි සතුටු වෙනවා.

මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සුරියප්පෙරුම මහතා ;

අප මුදල් අමාත්‍යාංශය ලෙස මූල්‍ය ස්ථාවරත්වයක් ඇති කර ගැනීම සඳහා වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කළා. දැන් රටක් ලෙස අපි එහි ප්‍රථිපල භුක්ති විඳීමින් සිටිනවා. ඒ නිසා රේටින්ග්ස් වලින් පහත වැටුණ රට ඉහළට ඔසවන්නට අපට හැකියාව ලැබුණා. ඒ පිළිබඳව ජාත්‍යන්තර ආයතන විසින්ම ප්‍රකාශ කරමින් සිටීම වැදගත්. එහි වැදගත්කම වන්නේ එයින් පොදු මහත් ජනතාවට, ව්‍යාපාරිකයන්ට අවශ්‍ය සහනය ලබා දෙන්නේ කෙසේද? රට ඉදිරියට ගෙන යාමට භාවිතා කරන්නේ කෙසේද යන්න තීරණය කිරිමයි. මේ අද ආරම්භ කරන ඩිජිටල් අත්සන සහ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය ඒ සඳහා හොඳ ක්‍රියාමාර්ගයක් වනු ඇති.

මෙමගින් ජනතාවට තමන්ගේ සේවා ලබා ගැනීමට ගත වන කාලයත්, පිරිවැයත් අඩුකර ගැනීමට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම කාර්යක්ෂමව කර ගැනීමටත් හැකියාව ලැබෙනවා. මෙය අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතන කීපයක් එක් වී කළ කණ්ඩායම් ක්‍රියාකාරකමක ප්‍රතිඵලයක්. මෙයින් රාජ්‍ය ආදායමටත් විශාල දායකත්වයක් ලබා දෙනවා. ආදායම් රැස් කරන ආයතනවලට ආදායම් රැස් කිරීම වඩාත් සවිමත් කර ගැනීමට ඉහළ දායකත්වයක් ලැබෙනවා. සංකල්ප මට්ටමේ තිබුණ දේවල් යථාර්තයක් බවට පත් කිරීමට හැකී විම ගැන විශාල සතුටක් තිබෙනවා.

රේගු අධ්‍යක්ෂක ජෙනරාල් විමල් ලියනගමගේ මහතා ;

ශ්‍රී ලංකා රේගුව අවුරුදු දෙසීයකට වැඩි ඉතිහාසයක් සහිත ආයතනයක්. ඒ වගේම රේගු දෙපාර්තමේන්තුව කියන්නේ තොරතුරු තාක්ෂණය රාජ්‍ය සේවයට එක් කර ගැනීමට ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටු කළ ආයතයක්.

අනූව දශකයේ මුල් භාගයේදී තාක්ෂණික ගැලපීමට කටයුතු කළ අපේ ආයතන නිසි වෙලාවට නිසි තාක්ෂණික ගැලපුම සිදුකළ ආයතනයක්. අප වෙනදාටත් වඩා කාර්යක්ෂමතාවයක් අද වන විට ළගා කර ගෙන තිබෙනවා. සමාජ ආරක්ෂණය සඳහාත් අප විශාල කාර්යභාරයක් ඉටු කරනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ මග පෙන්වීම යටතේ අප අයතනය ප්‍රතිසංස්කරන රැසක් සිදුකරමින් සිටිනවා. අද මේ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය ආරම්භ කිරීම එහි ඉතාමත් ඉදිරි පියවරක් බව කිව හැකියි. ඒ නිසා අද අපිට ඉතා වැදගත් දවසක් වෙනවා.

මෙම අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සීවලී අරුක්ගොඩ, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල, මහාභාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ඩී. ජේ. සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුලු නිලධාරීහු රැසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website