නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීම සහ කිසිදු වෙනස්කමකින් තොරව සැමට සමාන ලෙස යුක්තියට ප්‍රවේශ වීමේ අවස්ථාව තහවුරු කිරීම රජයේ ප්‍රධාන පොරොන්දුවක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
ඊයේ (24) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළේ, දැනට සලකා බලමින් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාත්මක පුළුල් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ එක් කොටසක් පමණක් බවයි.
තනි සංශෝධනයකින් හෝ එක් ආයතනයක් පමණක් ප්‍රතිසංස්කරණය කිරීමෙන් යුක්තියට ප්‍රවේශ වීමේ අවස්ථාව උදා කළ නොහැකි බවත්, ඒ සඳහා සමස්ත අධිකරණ පද්ධතියේම පුළුල් වෙනසක් අවශ්‍ය බවත් අග්‍රාමාත්‍යතුමිය පෙන්වා දුන්නාය.
පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් සාධාරණ හා අපක්ෂපාතී විමර්ශන සිදු කිරීම සඳහා පසුගිය වසර දෙක තුළ ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී අවධාරණය කළ අග්‍රාමාත්‍යතුමිය, විශේෂයෙන්ම එම ආයතනවල බඳවා ගැනීම්, උසස්වීම් සහ තනතුරු සඳහා පත්කිරීම් විනිවිදභාවයෙන් යුතුව සිදුවන බව ද ප්‍රකාශ කළාය.
අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා රජය විසින් පුරප්පාඩු පිරවීම, අතිරේක සහායක කාර්ය මණ්ඩලය ලබාදීම, නඩු විභාග සඳහා අවස්ථා වැඩි කිරීම සහ ගොඩගැසී ඇති නඩු පවතින අධිකරණ වෙත සම්පත් ප්‍රමුඛතාව ලබාදීම වැනි පියවර ගෙන ඇත. එමෙන්ම අධිකරණ පද්ධතියට තාක්ෂණික සහාය හඳුන්වාදීමටත්, විමර්ශන ප්‍රමාදයට ප්‍රධාන හේතුවක් වූ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ දීර්ඝකාලීන පුරප්පාඩු පිරවීමටත් පියවර ගෙන ඇති බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමිය,
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අවශ්‍යතාව පවතින පළාත්වල අභියාචනාධිකරණ ස්ථාපිත කිරීමට හැකිවන බවත්, එමගින් දිවයින පුරා ජනතාවට යුක්තියට ප්‍රවේශ වීම පහසු වන බවත් අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළාය.
යුක්තිය ඉටුවීම ප්‍රමාද වීම සාමාන්‍ය ජනතාවට දැඩි ලෙස බලපා ඇති අතර, එය ප්‍රභූ පන්තියට වාසිදායක වී ඇති බවත්, විමර්ශන සහ නීතිමය කටයුතු දීර්ඝ කාලයක් ප්‍රමාද වීම නිසා ආණ්ඩු වෙනස් වන සෑම අවස්ථාවකදීම වගවීම දුර්වල වූ බව ද අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.
සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව ඉහළ නැංවීමට යෝජනා කර ඇත්තේ කිසිදු පුද්ගල විනිසුරුවරයෙකු හෝ නිශ්චිත අධිකරණයක් ඉලක්ක කරගෙන නොවන අතර මෙය ජාත්‍යන්තර ක්‍රමවේදයන්ට අනුකූලව සිදු කරන බවත්, 2021දී එක්සත් රාජධානිය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 70 සිට 75 දක්වාත්, 2019දී හොංකොංහි එම සීමාව අවුරුදු 65 සිට 70 දක්වාත් ඉහළ දැමූ ආකාරයද උදාහරණ ලෙස දැක්වූවාය.
මෙම සංශෝධනය මගින් විධායකයට අධිකරණය කෙරෙහි විශේෂ බලතල ලැබෙන්නේ නැති බවත්, ආණ්ඩුවේ ආයතන අතර පවතින බල තුලනය වෙනස් නොවන බවත් අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් සඳහන් කළ අතර යෝජිත සංශෝධනය සම්බන්ධයෙන් එල්ල වන විවේචන පිළිබඳව අදහස් දක්වමින්, එම විවාදය මගින් අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය, කාර්යක්ෂමතාව සහ ප්‍රවේශවීමේ හැකියාව ශක්තිමත් කිරීමට රජය දක්වන කැපවීම මැනවින් පිළිඹිබු වන බවද අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.
මෑතකදී සිදු වූ දුම්රිය වර්ජනයෙන් අනතුරුව දුම්රිය සේවා යළි ආරම්භ වූ අවස්ථාවේදී ඇතැම් තරුණයන් අමතර ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ සිදුවීම මතක් කළ අග්‍රාමාත්‍යතුමිය, එමගින් රාජ්‍ය ආයතන සහ පාලන පද්ධතිය කෙරෙහි ජනතාව තුළ වර්ධනය වන විශ්වාසය සහ වගකීම්සහගතභාවය ප්‍රකාශ වන බව සඳහන් කළාය.















