නාඩු සහල් පාලන මිල ඉක්මවා සටහන් කර නිකුත් කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පවරා තිබූ නඩුවකින් වරදකරු කරන ලද නිව් රත්න සහල් පුද්ගලික සමාගමට පොළොන්නරුව මහෙස්ත්රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ 10ක දඩයක් නියම කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් පොළොන්නරුව මහෙස්ත්රාත් අධිකරණය විසින් නිකුත් කළ නිවේදනයේ මෙසේ සඳහන් විය.
2022 වර්ෂයේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් නාඩු සහල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල (රු. 220.00) ඉක්මවා, රතු නාඩු සහල් කිලෝග්රෑමයක් රුපියල් 225.00 බැගින් සටහන් කර අලෙවි කිරීම සඳහා වෙළෙඳපොළට සැපයීම මඟින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ නීතිරීති හා විධානයන් උල්ලංඝනය කළ පොළොන්නරුවේ “නිව් රත්න සහල් පුද්ගලික සමාගම (New Rathna Rice Pvt Ltd)” සහ එහි අධ්යක්ෂවරුන්ට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පොළොන්නරුව මහෙස්ත්රාත් අධිකරණය හමුවේ පැවරූ නඩුවට අදාළව අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී ඇත.
ඊයේ (06) මෙම නඩුව පොළොන්නරුව මහෙස්ත්රාත් අධිකරණය හමුවේ කැඳවූ අතර, එහිදී ලබා දුන් තීන්දුව අනුව විත්තිකාර නිව් රත්න සහල් පුද්ගලික සමාගම අදාළ චෝදනාවට වරදකරු කිරීමට මහෙස්ත්රාත් අධිකරණය තීන්දු කළේය. ඒ අනුව විත්තිකරුවන්ට රුපියල් මිලියනයක දඩ මුදලක් නියම කිරීමට අධිකරණය පියවර ගන්නා ලදී.
AI තාක්ෂණයෙන් ජනනය කළ ඡායාරූපයකි. උපුටා ගැනීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ෆේස්බුක් පිටුවෙනි – සංස්කාරක












