රජය විසින් ප්‍රකාශයට පත්කර ඇති සහතික මිලට වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා වන විශේෂ සාකච්ඡාවක් මහා පරිමාණ සහල් මෝල් හිමියන් සහ සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සහභාගිත්වයෙන් අද (06) කෘෂිකර්ම අමාත්‍යංශයේ දී පැවැත්විණ.
එම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා, ඇමැති වසන්ත සමරසිංහ, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නාමල් කරුණාරත්න, ටී.බී සරත් යන මහත්වරුන් සහ කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ, වී අලෙවි මණ්ඩලය, ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය ඇතුළු කෘෂි කර්මාන්ත ක්ෂේත්රයට සම්බන්ධ නිලධාරීන් ද සහභාගී වූහ.
මෙහි දී කෘෂිකර්ම අමාත්‍යවරයා මෙසේ පැවසුවේය, පසුගිය කන්න තුනක වගේ කාලයක් තිස්සේ අපේ පැත්තෙන් අපි ඉලක්ක කරගෙන කටයුතු කළේ සහල් නිෂ්පාදනය වැඩි කර ගැනීම සඳහායි. ඒ වෙනුවෙන් ගොවියන්ගේ පොහොර සහනාධාරය වැඩි කිරීමටත්, අනෙකුත් ගොවි ආධාර සහ වාරිමාර්ග පද්ධතියට අදාළ පහසුකම් සලසා දීමටත් අපි පියවර ගත්තා. එමෙන්ම ගොවියාට තමන්ගේ වී සඳහා සහතික මිලක් ලබාදීමේ ක්‍රියාවලියේදී රජය හැටියට අපි විශාල මැදිහත්වීමක් සිදු කළා. අපේ උත්සාහය වුණේ ගොවියාට නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 120ත්, සම්බා සඳහා රුපියල් 130ත්, කීරිසම්බා සඳහා රුපියල් 140ත් මිලක් ලබාදීමයි. 2024 වසරේ සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාස වලදී සහල්මිල රුපියල් 270, 280දක්වාත්, රතු නාඩු රුපියල් 300 දක්වාත්, ඉහළ ගිය හැටි ඔබට මතක ඇති. හැබැයි 2025 වසරේ සිට අපි වෙළෙඳපොළ තුළ යම් ස්ථාවරත්වයක් හදාගත්තා. ව්‍යාපාරිකයන් වන ඔබගෙනුත් අපි ඉල්ලන්නේ රජය මේ ගන්නා ක්‍රියාවලියට සහාය දක්වමින් ගොවියාට සහනයක් වෙන විදියට කටයුතු කරන්න කියලයි.”
නාඩු වී රුපියල් 120ට මිලදී ගැනීමට පවතින බාධා මොනවාද යන්න සහ ඒ සඳහා ආණ්ඩුව ලෙස මැදිහත් වී සහල් මෝල් හිමියන්ට තව දුරටත් දිය හැකි සහන මොනවාද යන්න සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.
” පසුගිය කාලයේ ගොවියාගේ පොහොර සහනාධාරය රුපියල් 25,000 සිට 30,000 දක්වා වැඩි කළා. දැන් තෙල් මිල සහ පොහොර මිල යම් ප්‍රමාණයකින් පහළ බැස තිබෙනවා. රජය පොහොර සමාගම්වලින් රුපියල් 15,500 ගානේ අරන් ගොවියාට ලබා දුන්නේ රුපියල් 10,000කටයි.(ප්‍රවාහන ගාස්තු රුපියල් දෙසීයක්ද ඇතුළුව රුපියල් 10,200කටයි). අපේ එකම වුවමනාව වෙළෙඳපොළ තුළ සමතුලිතතාවක් ඇති කිරීමයි. ගොවියාට රුපියල් 120ක මිලක් ලැබෙනවා නම් පාරිභෝගිකයාටත් රුපියල් 220, 230, 240 සහ 260 මිල ගණන්වලට සහල් මිලදී ගැනීමට හැකියාව ලැබෙනවා” කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.
ගොවියාට රුපියල් 120ක මිලක් ලබාදීමට මහා පරිමාණ මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් තමන්ට ඇති හැකියාව පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් දක්වන ලදී. ප්ලෙජ් ණය ගැටලු හා එහි පොලිය තනි ඉලක්මක් දක්වා අඩු කරන ලෙසත්, ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ ණය ලබා ගත නොහැකි පුද්ගලයන් ලෙස ලේඛණගත වී සිටින සුලු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට ද ප්ලෙජ් ණය ලබා දීමට සලකා බලන මෙන් එහිදී ඔවුන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් විය.
ආහාර සුරක්ෂිතතා කමිටුව තුළ සහ අමාත්‍ය මණ්ඩලය තුළ මෙම සාකච්ඡාවේදී මතු වූ කරුණු පිළිබඳ තවදුරටත් සාකච්ඡා කර ඉදිරි තීරණවලට එළැඹෙන බව මෙහි දී සහල් මෝල් හිමියන් දැනුම්වත් කරන ලදී.
















