එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා ශ්‍ ලංකාවෙන් තවත් 1132ක භට පිරිසක්

එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා යුද හමුදා සහ ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන්ට සුබපැතුම් එක් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (26) පෙරවරුවේ පනාගොඩ, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී එක් විය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමසාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන වැඩිම භට කණ්ඩායම මෙය වන අතර ඔවුන්ට සුබපැතුම් එක් කිරීමට ජනාධිපතිවරයෙකු පැමිණි පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.

ලෝකයේ කොතැනක සිටියද පීඩාවට පත් ජනතාවගේ ආරක්ෂාව, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් සඳහා පෙනී සිටීමට සූදානම් හමුදාවක් ශ්‍රී ලංකාව සතු බව මෙමඟින් ලෝකයට කියාපාන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා, එය රටට මහත් අභිමානයක් සහ ගෞරවයක් බව සඳහන් කළේය. එමෙන්ම අපිට ලෝකයේ පොහොසත්ම රට බවට පත්වීම අසීරු වුවද ලෝකයේ අභිමාවත් රටක් බවට පත්විය හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

සාමසාධක මෙහෙයුම් සඳහා පිටත්ව යන සියලු දෙනා දෙවුර දරා සිටින්නේ රටේ අභිමානය බවත්, තම රාජකාරිය නිසි ලෙස ඉටු කරමින් රටේ අභිමානය සහ ගෞරවය ආරක්ෂා කිරීමට කැපවීම සියලු දෙනාගේ වගකීම බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ වන විට හයිටි රාජ්‍යයේ මතුව ඇති අර්බුදකාරී වාතාවරණය සමනය කර එරට තුළ සාමය ස්ථාපිත කිරීමේ අරමුණින් එළැඹෙන අගෝස්තු මාසයේදී මෙම කණ්ඩායම හයිටි රාජ්‍යය වෙත පිටත් කර යැවීමට නියමිතව ඇත.

විවිධ රෙජිමේන්තුවලට අයත් යුද හමුදා භටපිරිස් 900ක්, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 189ක් සහ මෙරට හමුදා ඉතිහාසයේ පළමුවරට බිම්බෝම්බ සහ මර උගුල් නිෂ්ක්‍රීය කිරීම පිළිබඳ විශේෂ පුහුණුව ලත් යුද හමුදා කාන්තා සාමාජිකාවන් 43දෙනෙකු මීට ඇතුළත් වේ. මීට අමතරව, සන්නද්ධ රථ, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ‘යුනි බෆල්’ රථ මෙන්ම ජනාධිපති ආරක්ෂක අංශය වෙතින් ලබා දුන් විශේෂ වෙඩි නොවදින රථ 02ක්ද මෙම බළඇණිය වෙත ලබා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website