එක්සත් ජාතින්ගේ සංවිධානය ක්‍රියාත්මක කළ දිට්වා මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම සාර්ථකව අවසන් කෙරේ

දිට්වා සුළිකුණාටුවෙන් විපතට පත්වූවන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ක්‍රියාත්මක කරන ලද මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම (Humanitarian Priorities Plan – HPP) සමාප්තිය සනිටුහන් කිරීම අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-André Franche යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (11) පෙරවරුවේ කොළඹදී සිදු කෙරිණි.

ශක්තිමත් දේශපාලන නායකත්වය සහ ව්‍යසන තත්ත්වය කළමනාකරණය කර ගැනීම වෙනුවෙන් දැක්වූ කඩිනම් ප්‍රතිචාරය හේතුවෙන් දිට්වා සුළිකුණාටුවෙන් විපතට පත් වූවන් වෙනුවෙන් ආරම්භ කළ මානුෂීය සහනාධාර වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-André Franche මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

ශක්තිමත් ජාතික නායකත්වයක් සහ සඵලදායී හවුල්කාරිත්වයක් තුළින් අර්බුදකාරී අවස්ථාවකදී වඩාත් සාධාරණව සහ කාර්යක්ෂමව ජනතාවට සහන සැලසිය හැකි බව ශ්‍රී ලංකාව ඔප්පු කර ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මෙහිදී අවධාරණය කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය කඩිනමින් සැපයූ නිවැරදි දත්ත සහ තක්සේරු කිරීම් ජනතාවට කඩිනම් සහන සැලසීම සඳහා වැදගත් වූ බවත්, ඉදිරියේදී පැමිණිය හැකි මෙවැනි ස්වභාවික ආපදාවලට ඔරොත්තු දීම සඳහා බහුවිධ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ශක්තිමත් කිරීමටත්, ජාතික, පළාත් සහ ප්‍රාදේශීය මට්ටමින් ආයතනික සම්බන්ධීකරණය තවදුරටත් පුළුල් කිරීමටත් රජය කටයුතු කරමින් සිටින බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

විවිධ රටවල් සහ හවුල්කරුවන් විසින් දක්වන ලද නොමසුරු සහ කඩිනම් සහායද අගය කරමින් ඊට කෘතවේදීත්වය පළ කළ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා, අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීමට සහ සහන සේවා කටයුතු කඩිනම් කිරීමට උපකාරී වූ සියලු රාජ්‍ය ආයතනවල මැදිහත්වීමද අගය කළේය.

එක්සත් ජාතීන්ගේ දිට්වා මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම යටතේ ඩොලර් මිලියන 35.4ක් දිට්වා විපතට පත්වූවන් වෙනුවෙන් එක්රැස් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබිණි.එම මුදලින් 75%ක ‍සහනාධාර මෙරට විපතට පත්වූවන් වෙනුවෙන් ලබා දී ඇති අතර, එහිදී විපතට පත් එක් පවුලක් වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් රුපියල් 27,000ක දීමනාවක්ද, තාවකාලික නිවාස ඉදිකිරීම් ඇතුළු සහනාධාර රැසක් ක්‍රියාත්මක කර ඇත.

මෙම මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම යටතේ දිස්ත්‍රික්ක 25ක් ආවරණය වන පරිදි ක්ෂේත්‍ර 9ක් ඔස්සේ ජනතාවට සහන සැලසීමට පියවර ගෙන තිබේ. එහිදී ලක්ෂ 6.5කට අධික ඉලක්කගත ජනගහනයෙන් 87%කට, එනම්, පුද්ගලයින් 575,000කට සෘජුවම සහන සැලසීමට හැකි වී ඇති බව නිල වාර්තා පෙන්වා දෙයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආපදා කළමනාකරණ) කේ. ජී. ධර්මතිලක මහතා සහ විදෙස් රටවල තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පිරිසක්ද, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයන්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයන්, ජාත්‍යන්තර සහන සංවිධානවල නියෝජිතයන් ඇතුළු දෙස් විදෙස් නියෝජිත පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website