ජගත් පරිසර දිනය දා (05) මෙරට වනාන්තර පහක් ‘වන රක්ෂිත’ ලෙස ප්‍රකාශයට පත් කළ බව පරිසර අමාත්‍ය ධම්මක පටබැඳ මහතා පැවසුවේය.
ඒ අනුව රිටිගල, අලියාවැටුණවැව, මුලාගල, කෝන්කැටියාව සහ කල්ලංචිය යන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි වනාන්තර පහක් මෙලෙස රක්ෂිත ලෙස ගැසට් කළ බව ද පරිසර අමාත්‍යවරයා පැවසුවේය.
පරිසර අමාත්‍යවරයා මේ බව හෙළි කළේ ඊයේ (05) 2026 ජගත් පරිසර දින ජාතික සැමරුම ‘දේශගුණ විපර්යාස අවම කර ගැනීම වෙනුවෙන් පෙළගැසෙමු’ තේමාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණ අවස්ථාවේ දීය.
මෙහි දී පරිසර අමාත්‍යවරයා මෙසේ ද පැවසුවේය “එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජගත් පරිසර දිනය 1972දී නම් කළා. ජාතික ජන බලවේගය ආණ්ඩුව යටතේ සමරන දෙවැනි ජගත් පරිසර දිනයයි අද සමරන්නේ. අපි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග එක්ව මේ ජගත් පරිසර දිනයට සමගාමීව වනාන්තර පහක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කළා. රිටිගල, අලියාවැටුණවැව, මුලාගල රක්ෂිතය, කෝන්කැටියාව රක්ෂිතය සහ කල්ලංචිය යන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි වනාන්තර පහක් මෙලෙස අපි විසින් ක්‍රියාත්මක කරන වනස්පති වැඩසටහන යටතේ රක්ෂිත ලෙස නම් කළා. අපි රක්ෂිත නම් කිරීම ආරම්භ කළේ 2025 ජගත් පරිසර දිනයේ සිටයි. එදා අපි නිල්ගල, කොට්ටව, තුල්හිරි කන්ද, වේරහැර හා උඩලියද්ද වනාන්තර රක්ෂිත බවට පත් කළා.
අපි වනස්පති වැඩසටහන නිල වශයෙන් ආරම්භ කළේ පසුගිය වසරේ ජුනි 15 වනදා. අපි පරිසර අමාත්‍යාංශය ලෙසත්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ලෙසත් 2025 වසරේදි වනාන්තර 29ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරිමට සමත් වුණා. 2026 වසරේ ලෝක වනාන්තර දිනයේදි තවත් රක්ෂිත 5ක් අම්පාර, නුවරඑළිය, බදුල්ල, ඇතුළු දිස්ත්‍රික්ක හතරක් මූලික කරගෙන ප්‍රකාශයට පත් කළා. මීට මසකට පමණ පෙර පැවැති ඒහි පස්සිකෝ සාම පා ගමනට සමගාමීව තවත් වනාන්නර දෙකක් රක්ෂිත බවට පත් කළා. අද ප්‍රකාශයට පත් කළ වනාන්නර පහත් සමග වසරක් ඇතුළත රක්ෂිත 86ක් ප්‍රකාශයට පත් කරන්න අපි සමත් වී තිබෙනවා. එය විශාල ජයග්‍රහණයක් බව කිව යුතුයි.














