කච්චතිව් දූපත යළි පවරා ගැනීමට ඉන්දියාවට හැකියාවක් නැහැ – හිටපු තානාපති සුමිත් නාකන්දල

කච්චතිව් දූපත සහ උතුරු මුහුදේ අනවසර ඉන්දීය ධීවරයින්ගේ කටයුතු පාලනය කිරීම සම්බන්ධයෙන් සංවාදය තලපති විජේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමති ධුරයට පත්වීම සම යළි ආරම්භ වී ඇති අතර එය වත්මන් දේශපාලන හා සමාජයීය ප්‍රවණතා හමුවේ සමාජය තුළ විශේෂ අවධානයක් දිනාගෙන ඇත. මේ පසුබිම තුළ කච්චතිව් දූපත සහ උතුරු මුහුදේ අනවසර ඉන්දීය ධීවරයින් මත්ස්‍ය සම්පත සූරාකෑම පිළිබ නිරවුල් අවබෝධයක් ලබා ගැනීමට මෙම ගැටලුවේ ආරම්භය සහ එහි ගමන් මග පිළිබ අවබෝධයක් ලබාගත යුතු බව හිටපු තානාපති සුමිත් නාකන්දල මහතා කතිකාව සංවාදයට ආරම්භ ප්‍රවේශයක් ගනිමින් පැවසුවේය.

මෙහි දී ඔහු පැවසුවේ කච්චතිව් දූපතේ හිමිකාරීත්වය සම්බන්ධ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා ආරම්භ වූයේ බ්‍රිතාන්‍ය යටතේ විජිත පාලන සමයේ, 1920 දශකයේ මූලාරම්භයේ දී පමණ බවයි. එමින් ඔහු තර්ක කළේ කච්චතිව් දූපතේ හිමිකාරීත්වය සම්බන්ධ අර්බුදය මෑත කාලීන අර්බුදයක් නොව සියවසකට පමණ පෙර ආරම්භ වූ ගැටලුවක් බවයි.

කච්චතිව් දූපත සම්බන්ධ අර්බුදයේ ආරම්භය සහ විකාශනය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් නාකලන්ද මහතා මෙසේ පැවසුවේය, “මේ ප්‍රශ්නය ගැන මුලින්ම කතා කරන්න පටන් ගත්තේ 1920 ගණන්වල මුල් භාගයේ දීයි. ඒ වන විට ඉන්දියාව සහ ලංකාව මහා බ්‍රිතාන්‍ය පාලනය යටතේ තිබුණේ. ලංකා ආණ්ඩුවේ නිලධාරීන් මේ ගැන සාකච්ඡා කළේ Madras Presidency එක සමඟයි. නමුත් මේ සාකච්ඡාවලදී විශේෂ දෙයක් සිදු වුණේ නැහැ. නමුත් කච්චතිව් හා සම්බන්ධ හිමිකම ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යාමට දෙපාර්ශ්වයේ නිලධාරීන් එකඟ වුණා. 1947 දී ඉන්දියාවට සහ 1948 දී ලංකාවට නිදහස ලැබෙනවා. මෙහි දී දෙරටට ම තමන්ගේ දේශසීමා නිර්ණය කර ගැනීමට අවශ්‍ය වුණා.  ලංකාව කියන්නේ ඉන්දියන් සාගරයේ පිහිටි දූපතක්. දූපත් රාජ්‍යවල දේශසීමා නිර්ණය කිරීම සම්බන්ධ නීතිය (එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතියෙන් (United Nations Convention on the Law of the Sea – UNCLOS) වේ මේ වන විට සම්මත වෙලා තිබුණේ නැහැ. ඒ වන විට මෙවැනි තත්ත්වයන් සම්බන්ධයෙන් කටයුතු කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතනයක් වන International Court of Justice (ජාත්‍යන්තර අධිකරණය) තමයි කටයුතු කළේ”

ඩඩ්ලි සේනානායක

නිදහසින් පසු යුගය

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් නිදහස් වූ පසු සිය රාජ්‍ය වලට අයත් දේශසීමා නිර්ණය කර ගැනීමට පියවර ගැනීමේ දී කච්චතිව් දූපත සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වූ බව පැහැදිලි කළ සුමිත් නාකලන්ද මහතා එයට සාමකාමී සාකච්ඡාමය විසඳුමක් ලබාදීම ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ ස්ථාවරය වූ බවත් සඳහන් කළේය. එහිදී හිටපු අගමැති ඩඩ්ලි සේනානායක මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ දායකත්වය නාකලන්ද මහතා විශේෂයෙන් සිහිපත් කළේය.

“ඉන්දියාව සහ ශ්‍රී ලංකාව නිදහස ලබා ගත් කාලයේ සිටම කච්චතිව් දූපත සහ උතුරු මුහුදේ ධීවර කටයුතු සම්බන්ධයෙන් ඉන්දියාව සහ ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සිදු වුණා. විශේෂයෙන් ශ්‍රී නේරු සහ ඉන්දිරා ගාන්ධි සමඟ මේ සාකච්ඡා සිදු වුණා. මේ අතර 1968 දී සුවිශේෂ දෙයක් සිදු වුණා. ඒ වන විට ඉන්දිරා ගාන්ධි මැතිණිය ඉන්දීය අග්‍රාමාත්‍යවරිය ලෙසත් ඩඩ්ලි සේනානායක මහතා ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙසත් කටයුතු කළා. ඔවුන් දෙදෙනා තමයි මේ ගැටලුව සම්බන්ධයෙන් වඩාත් ව්‍යුහාත්මක ලෙස සාකච්ඡාව ආරම්භ කළේ. ඉන්දිරා ගාන්ධි මැතිණියගේ ආරාධනාවකට අනුව 1968 නොවැම්බර් මාසයේ ඩඩ්ලි සේනානායක ඉන්දියාවේ නිල සංචාරයකට ගියා. ඩඩ්ලි සේනානායක මහතා ඉන්දියාවට යාමට පෙර ලංකාවේ නියෝජිත පිරිසක් ඉන්දියාවට ගියා.  මේ නියෝජිත පිරිස අතර ආගමන හා විගමන පාලකවරයත් හිටියා. ඔහු මේ නියෝජිත පිරිසට එක්වීමට හේතුව තමයි ඒ වන විට කල්ලතෝනි ප්‍රශ්නය අපට තිබුණා. මේ නියෝජිත පිරිස අතර තවත් වැදගත් නිලධාරියෙක් හිටියා, ඔහු තමයි ක්‍රිස් පින්ටෝ. ඔහු තමයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ පළමුවැනි නීති උපදේශකවරයා ලෙස කටයුතු කළේ. ඒ වන විට විදේශ කටයුතු සිදු වුණේ ආරක්‍ෂක හා විදේශ කටයුතු අමාත්‍යාංශය හරහායි”.

ඩඩ්ලි සේනානායක යුගයේ කච්චතිව් දූපතේ හිමිකාරීත්වය සම්බන්ධ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා යළි ආරම්භ වූ ආකාරයට සහ එම සාකච්ඡාවලට සම්බන්ධ වූ රාජ්‍ය තාන්ත්‍රිකයින් ගැන සඳහන් කළ සුමිත් නාකලන්ද මහතා මෙම රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස 1976 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සහ  ඉන්දිරා ගාන්ධි මැතිණිය ගිවිසුම් දෙකකට අත්සන් කළ බවත් ඒ ගිවිසුම් සමඟ කච්චතිව් දූපතේ හිමිකාරීත්වය ශ්‍රී ලංකාවට හිමි වූ බවත් කීවේය.

ඉන්දිරා ගාන්ධි මැතිණිය සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය

“1976 දී ඉන්දිරා ගාන්ධි මැතිණිය සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය කච්චතිව් දූපතේ හිමිකම ලංකාවට පවරන ගිවිසුමට අත්සන් තැබුවා. ඒ ගිවිසුම් දෙකේ ප්‍රතිඵලයක් ලෙස තමයි ලංකාවට කච්චතිව් දූපත ලැබුණේ” ඔහු පැවසුවේය.

ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය

ඉන්දීය ජනරජ ව්‍යවස්ථාව අනුව විදේශ ප්‍රතිපත්ති සම්පාදනය මධ්‍යම ආණ්ඩුවේ විෂය පථයට අයත් වන බවත් ප්‍රාන්ත වලින් උපදෙස් හෝ අනුමැතිය ලබා ගැනීමට සම්බන්ධයෙන් එහි සඳහන් නොවන බවත් පෙන්වා දුන් හිටපු තානාපතිවරයා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම රජය ‘වැදගත් අසල්වැසියා’ යන මූලධර්මය මත පිහිටා කටයුතු කළ බව ද කීවේය.

“ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වෙලා තිබුණේ කච්චතිව් දූපතේ අයිතිය සම්බන්ධ ගැටලුව සාමකාමීව විසඳා ගත යුතු බවයි. ලංකාව ඉතාම වැදගත් අසල්වැසියෙක් ලෙස ඉන්දියාව පිළිගෙන තිබුණා. මේ සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ ලෝක් සභා සහ රාජ්‍ය සභා විවාද වල ලංකාව සම්බන්ධ ස්ථාවරය ඉතාම පැහැදිලිව සඳහන් වුණා”.

ඉන්දීය මධ්‍යම රජයේ ස්ථාවරය එසේ වුවත් තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව දිගින් දිගටම කච්චතිව් දූපතට හිමිකම් කී බව පෙන්වා දුන් නාකලන්ද මහතා 1976 දී කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පවරන ගිවිසුම අත්සන් කළ ද සියවසක් පමණ පැරණි ප්‍රශ්නයට තිරසර විසඳුමක් නොලැබුණ බව පැහැදිලි කළේය.

“ 1976 ගිවිසුමෙන් කච්චතිව් දූපත ලංකාවට පවරා දුන්නත් ප්‍රශ්නය අවසන් වුණේ නැහැ. ඊට පස්සේ ප්‍රශ්නය තවත් සංකීර්ණ වුණා. ඉන්දීය ධීවරයින් ලංකාවේ උතුරු මුහුදට අනවසරයෙන් පැමිණ එහි මත්ස්‍ය සම්පත සූරාකෑමට පටන් ගත්තා. මේ ගැටලුව අද දක්වාම තිබෙනවා. අපි පසුගිය දශක කිහිපය පුරා මේ ගැටලුවට විසඳුමක් සොයා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික ලෙස කටයුතු කරනවා, නමුත් අද දක්වාම මේ ගැටලුවට පිළිගත හැකි විසඳුමක් ලැබී නැහැ” මෙහි දී මෙරට තමිල්නාඩුවේ ජනප්‍රිය කතාවක් වුවත් ලංකාවට අති සංවේදී ප්‍රශ්නයක් වන ‘කච්චතිව් යළි පවරා ගැනීමට ඉන්දීයාවට හැකියාව තිබේ ද ?’ යන ප්‍රශ්නයට හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයා පැහැදිලි කිරීමක් කළේය.

කච්චතිව් යළි පවරා ගන්න පුළුවන් ද

“ඒක ඉතාම අසීරු දෙයක්. විශේෂයෙන් සෑම රටක්ම ජාත්‍යන්තර සම්මුතිවලට ගරු කළ යුතුයි” නාලකන්ද මහතා අවධාරණය කළේය.

කච්චතිව් දූපත යළි  පවරා ගැනීමට තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජෙයරාම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගිය බව සිහිපත් කළ නාකලන්ද මහතා එම නඩුව දශක කිහිපයක් පුරා තවමත් විභාගයට ගෙන නැති බව ද කීවේය.

“කච්චතිව් දූපත සම්බන්ධයෙන් තමිල්නාඩු ප්‍රාන්තයේ ස්ථාවරය මධ්‍යම ආණ්ඩුවේ ස්ථාවරයට වඩා සම්පූර්ණයෙන් වෙනස්. ජයලලිතා ජෙයරාම් තමිල්නාඩුවේ මහ ඇමතිනිය ලෙස කටයුතු කරන කාලේ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ කච්චතිව් දූපත සම්බන්ධයෙන් නඩු පවරලා තිබෙනවා, ඒ නඩුව තවමත් විභාග කිරීම ආරම්භ කරලා නැහැ”

මෙහි දී විදේශ ප්‍රතිපත්තිය තීරණය කිරීම සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම ආණ්ඩුව සතු බලතල පැහැදිලි කළ නාකලන්ද මහතා  ඉන්දීය ජනරජයේ විදේශ ප්‍රතිපත්තිය තීරණය කරන්නේ මධ්‍යම රජය බවත් ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 07 වන උපලේඛනයේ (Seventh Schedule to the Constitution of India) ඉතාම පැහැදිලිව සඳහන් කර තිබෙන බවත් පෙන්වා දුන්නේය.

තමිල්නාඩු බලපෑම තීව්‍රර වීම

“ එහි කොතැනකවත් සඳහන් වෙලා නැහැ ඉන්දීය මධ්‍යම රජයේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රාජ්‍යවල අදහස් විමසිය යුතුයි කියලා” ඔහු අවධාරණය කළේය. ව්‍යවස්ථා ප්‍රතිපාදන කෙසේ වුව ද ජනවාර්ගික ගැටලුව තීව්‍රර වීම සමඟ, විශේෂයෙන් 1983 කළු ජූලියෙන් පසු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම රජයේ ස්ථාවරයට යම් බලපෑමක් කිරීමට තමිල්නාඩුවට හැකියාව ලැබුණු බව ද ඔහු පැවසුවේය.

“අපි පසුගිය කාලය තුළ දැක්කා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුවට බලපෑම් කිරීමට තමිල්නාඩුව පියවර ගන්නවා, විශේෂයෙන් 1983 කළු ජූලියෙන් පස්සේ මේ තත්ත්වය වඩාත් තීව්‍රර වුණා. ලංකාවේ තිබුණ ජනවාර්ගිය අර්බුදය හේතුවෙන් ඉන්දීය මධ්‍යම ආණ්ඩුව ඇතැම් විට තමිල්නාඩුවේ අදහස් විමසලා තිබුණා. තමිල්නාඩුවේ ඇතැම් යෝජනා ඉන්දීය මධ්‍යම ආණ්ඩුව ක්‍රියාත්මක කළ අවස්ථාත් තිබුණා. මගේ අදහස අනුව නම් තමිල්නාඩුවට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යම් යම් උපදෙස් මාධ්‍යම රජයට ලබාදීමට හැකියාව තිබිය යුතුයි. මම ඒකේ වැරැද්දක් දකින්නේ නැහැ”.

තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ලෙස තලපති විජේ පත්වීම සමඟ නිර්මාණය වී ඇති නව ප්‍රවණතා සම්බන්ධයෙන් තම අදහස පැහැදිලි කළ හිටපු තානාපතිවරයා පැවසුවේ උතුරේ ජනතාවට ආදරේ නම් තලපති විජේ කළ යුතු හොඳම දේ තමිල්නාඩු ධීවර ආක්‍රමණය වැළැක්වීමට පියවර ගැනීම බවයි, “මගේ අදහස නම් තමිල්නාඩු ධීවරයින් උතුරු මුහුදේ මත්ස්‍ය සම්පත සූරාකෑම වැළැක්වීමට තමිල්නාඩු මහ ඇමැතිවරයා පියවර ගත යුතුයි. එතුමා කියනවා ලංකාවේ උතුරේ දමිළ ජනතාවට තමා තුළ ආදරයක් තිබෙනවා කියලා. ඔහුට ලංකාවේ දමිළ ජනතාව ගැන ආදරයක් තිබෙනවා නම් ඔහු කළ යුත්තේ උතුරු මුහුදේ තමිල්නාඩු ධීවරයින්ගේ සූරාකෑම නතර කිරීමයි, ඔහු කළ යුත්තේ ද එයයි” ඔහු වැඩි දුරටත් පැවසුවේය.

Seventh Schedule to the Constitution of India / ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හත්වන උපලේඛනය

යුනියන් සහ ප්‍රාන්ත (Union and the States) අතර ව්‍යවස්ථාදායක බලතල බෙදා හැරීමේ විෂය පිළිබඳ ඉන්දියාවේ ව්‍යවස්ථාමය විධිවිධාන ප්‍රධාන වශයෙන් එහි 245 සහ 246 වගන්ති යටතේ අර්ථ දක්වා ඇත. ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හත්වන උපලේඛනය සංගමය සහ ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයන් අතර බලතල සහ කාර්යයන් වෙන් කිරීම නිශ්චිත කරයි. එය ලැයිස්තු තුනක් මූර්තිමත් කරයි; එනම්, යුනියන් ලැයිස්තුව / Union List, ප්‍රාන්ත ලැයිස්තුව / State List සහ සමගාමී ලැයිස්තුවයි / Concurrent List. යුනියන් ලැයිස්තුවේ යුනියන් පාර්ලිමේන්තුවේ බලය විහිදෙන විෂයයන් 97ක් ලැයිස්තු ගත කර ඇත. ඒ හා සමානව, ප්‍රාන්ත ලැයිස්තුවේ රාජ්‍ය නීති සම්පාදනය සඳහා විෂයයන් 66ක් ලැයිස්තුගත කරයි. මෙම කාලසටහනේ යුනියන් පාර්ලිමේන්තුව සහ ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයන් යන දෙකම නීති සම්පාදනය කිරීමට බලය ලබා දී ඇති විෂයයන් 47ක් ඇතුළත් සමගාමී ලැයිස්තුවක් ද දක්වා ඇත, නමුත් මෙය ප්‍රාන්තවලට වඩා වෘත්තීය සමිති නීති සම්පාදනයට ප්‍රමුඛත්වය දෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනෙකුත් විධිවිධානවලට යටත් වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 248 වන වගන්තිය මඟින්, ප්‍රාන්තවල විෂයයන්ගෙන් යූනියන් නීති සම්පාදනයේ විෂයයන් වෙන්කර හඳුනා ගැනීමට අමතරව, යූනියන් හෝ ප්‍රාන්ත ලැයිස්තුවල සලකා බලනු නොලබන අවශේෂ බලතල ද අපේක්ෂා කෙරේ. එහි සඳහන් වන්නේ, “සමගාමී ලැයිස්තුවේ හෝ රාජ්‍ය ලැයිස්තුවේ ලැයිස්තුගත කර නොමැති ඕනෑම කරුණක් සම්බන්ධයෙන් ඕනෑම නීතියක් සෑදීමට යූනියන් පාර්ලිමේන්තුවට සුවිශේෂී බලයක් ඇත” යන්නයි. ඊට අමතරව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් 246[අ] වගන්තියේ 4 වන වගන්තිය හරහා යූනියන් පාර්ලිමේන්තුවට රාජ්‍ය ලැයිස්තුවේ ලැයිස්තුගත කර ඇති විෂයයන් ඇතුළුව සියලුම විෂයයන් පිළිබඳව යූනියන් ප්‍රදේශ සඳහා නීති සම්පාදනය කිරීමට බලය පවරයි.

Madras Presidency – මදුරාසි ජනාධිපති ධුරය, නිල වශයෙන් ශාන්ත ජෝර්ජ් කොටුවේ ජනාධිපති ධුරය. බ්‍රිතාන්‍ය ඉන්දියාවේ දැවැන්ත පරිපාලන උප කොට්ඨාශයක්. 17 වන සියවසේ දී පිහිටුවන ලද එය, ඉන්දියාවේ නිදහසින් පසු විසුරුවා හැරීමට පෙර , වර්තමාන තමිල්නාඩු, ආන්ද්‍ර ප්‍රදේශ්, කේරළ සහ කර්ණාටක සහ ඔඩීෂා ප්‍රාන්තවල කොටස් ඇතුළුව දකුණු ඉන්දියාව පුරා විශාල භූමි ප්‍රදේශ ආවරණය කළේය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සෑම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව’ කාලීන සමාජ සංවාද මාලාවේ 274 වැනි කතිකාව පසුගිය 15 වැනි ඉරිදා ‘නව දේශපාලන ප්‍රවණතා තුළ ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවයන්හි හෙට දවස’ යන තේමාව යටතේ පැවැත්විණි. මෙවර කතිකාවේ සම්පත්දායකයින් ලෙස හිටපු තානාපති සුමිත් නාකන්දල, නීතිඥ ශිරාල් ලක්තිලක සහ අරුත සංවිධානයේ චාරුක පීරිස් සහභාගී වූ අතර මහාචාර්ය රොහාන් සමරජීව විසින් කතිකාව මෙහෙයවනු ලැබුවේය. මෙම කතිකාවේ දී  සුමිත් නාකන්දල මහතා දක්වන ලද අදහස් ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.

සටහන – තුෂාල් විතානගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website