කිරි ගොවීන් නඟා සිටුවීමේ ජාතික කිරි නිෂ්පාදන වැඩසටහනට 2026 අයවැයෙන් රුපියල් මිලියන 1,000ක්

‘කිරි ගොවීන් නඟා සිටුවීමේ ජාතික කිරි නිෂ්පාදන වැඩසටහන’ සඳහා 2026 වසරේ ජාතික අයවැයෙන් රුපියල් මිලියන 1,000ක මුදලක් වෙන් කර ඇති බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ජාතික කිරි නිෂ්පාදන වැඩසටහන යටතේ Dairy Hub සමිති 325ක් හරහා කිරි ගොවීන් සංවිධානය කිරීම, කිරි ආශ්‍රිත ව්‍යවසායකයින් බිහි කිරීම සහ ඔවුන්ගේ නිෂ්පාදන හැකියාවන් ඉහළ නැංවීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මෙම වැඩසටහන හරහා මෙරට වාර්ෂික කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 410 සිට ලීටර් මිලියන 1,200 දක්වා ඉහළ නැංවීම රජයේ අපේක්ෂාව බවද ඔහු සඳහන් කළේය.

එමෙන්ම අභිජනන ගොවිපළ වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් නිකවැරටිය කිරි ගොවිපළ සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇති බවත්, පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු මඟින් කිරි ගොවීන් නඟා සිටුවීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම, කිරි ගොවීන්ගේ ආදායම් ශක්තිමත් කිරීම සහ දේශීය කිරි අවශ්‍යතාව සපුරාලීමේ අරමුණින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ද නියෝජ්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website