ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වසර නවයකට පසු පැවැත්වෙන උපසම්පදා විනයකර්මයට රාජ්‍ය අනුග්‍රහය

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා විනයකර්ම මහෝත්සවය වසර නවයකට පසු මෙවර ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහානාහිමිපාණක් වහන්සේගේ අනුශාසනා පරිදි පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ගෞතම සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස උපසම්පදා භික්ෂූන් වහන්සේගේ යුගයේ අවශ්‍යතාව පිළිගෙන ඊට රාජ්‍ය අනුගහය දැක්වීම පිළිබඳව රජයට ප්‍රශංසා කරන බව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරි රාජකීය පණ්ඩිත, දර්ශනපති පූජ්‍ය බලපිටියේ සිරිසීවලී නාහිමිපාණෝ පවසති.

නාහිමිපාණන් වහන්සේ මේ බව සඳහන් කළේ මහා විහාරවංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ රාජ්‍ය උපසම්පදා මහෝත්සවය පැවැත්වීම සම්බන්ධව මූලික සාකච්ඡාවක් ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරි රාජකීය පණ්ඩිත, දර්ශනපති, පූජ්‍ය බළපිටියේ සිරිසීවලී නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (19) පෙරවරුවේ පැවැත්වූ අවස්ථාවේදීය.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා විනයකර්මය 2026 ජූලි 09 වැනිදා සිට 25 වැනිදා දක්වා 400කට අධික සාමණේර හිමිපාණන් වහන්සේගේ සහභාගිත්වයෙන් කළුතර බෝධීන් වහන්සේ අභියස පිහිටි උදකුක්ඛේප සීමා මාලකයේදී සිදුකිරීමට නියමිතය.

ඒ හා සමගාමීව රාජ්‍ය උපසම්පදා මහෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජුලි 09 වනදා සවස 3.00 ට කළුතර බෝධිය අභියසදී පැවැත්වේ. මෙම උපසම්පදා විනයකර්මය මෙවර පැවැත්වෙන්නේ වසර 9කට පසුව වීම විශේෂත්වයකි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනවාරි මස 01 වනදා ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහා නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක නව වසරට ආශීර්වාද ලබා ගැනීමට ගිය අවස්ථාවේදී නාහිමිපාණන් වහන්සේ කළ ඉල්ලීමකට අනුව අමරපුර මහා නිකායේ උපසම්පදා මහෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට සැලසුම් කර ඇත.

ඒ අනුව  ජනාධිපති කාර්යාලයේ මැදිහත් වීම මත රාජ්‍ය ආයතනවල, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ, පෞද්ගලික ආයතන ගණනාවකගේ සහාය ඇතිව අමරපුර මහා නිකායේ උපසම්පදා විනයකර්ම මහෝත්සවය පැවැත්වීමේ සංවිධාන කටයුතු සම්බන්ධව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website