දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සහ යාපනය ශික්ෂණ රෝහල පිළිබඳ ආයතන සමාලෝචනයක් සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සිදු කරන ලදී.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිහාල් අබේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් එම කාරක සභාව පසුගිය 21 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී.
ඒ අනුව දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පිළිබඳ සමාලෝචනය පළමුව කාරක සභාවේදී සිදු කරන ලදී. එහිදී අදහස් දක්වමින් දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ නිලධාරීහු දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය නිසා වසරකට පුද්ගලයින් 22,000 ක් පමණ මිය යන බවත් වසරකට රුපියල් බිලියන 225 – 240 ත් අතර මුදලක් රටට අහිමිව යන බව පෙන්වා දුන්හ.
මෙම තත්ත්වයෙන් මූලිකවම මිදීමට අවශ්‍ය කෙරෙන නෛතික ප්‍රතිපාදන ඇතුළත් කරමින් දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පනත සංශෝධනය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව ද පැවසූහ.
ලොව රටවල් 104ක් තනි තනි වශයෙන් දුම්වැටි අලෙවි කිරීම තහනම් කර ඇති බවත් එම නීතිය මෙරටද ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය අවධාරණය කළේය. තනි තනි වශයෙන් දුම්වැටි අලෙවි කිරීමේදී දුම්වැටි ඇසුරුම්වල දක්වා ඇති අනතුරු ඇඟවීම් අදාළ පාරිභෝගිකයින්ට දෘශ්‍යමාන වීමක් සිදු නොවන බවද එම නිලධාරීහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූහ.
තවද දුම්වැටි සඳහා බදු පැනවීම, දුම්වැටි මිල නියම කිරීමෙන් අනතුරුව සිදුකිරීමේ වැදගත්කමද දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ නිලධාරීහු අවධාරණය කළහ.
මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා, දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින් ඔවුන්ගේ පනතට සිදුකිරීමට අපේක්ෂිත සංශෝධනය හා අනෙකුත් වැඩසටහන් වෙනුවෙන් කාරක සභාව ලෙස අවශ්‍ය සහයෝගය ලබාදීමට සුදානම් බව පැවසීය.
අනතුරුව යාපනය ශික්ෂණ රෝහල පිළිබඳව ආයතන සමාලෝචනය සිදු කෙරුණු අතර එහිදී එම රෝහලේ වර්තමාන තත්ත්වය පිළිබඳව රෝහල් බලධාරීන් විසින් කාරක සභාව දැනුවත් කරන ලදී. දැනට රෝහලේ සිදු කරන ප්‍රතිකාර ඇතුළු සියලු සත්කාර තවදුරටත් කාර්යක්ෂම හා වර්ධනය කරගැනීම උදෙසා කාර්යමණ්ඩල අවශ්‍යතාවක් මතුව ඇති බව රෝහල් පරිපාලන නිලධාරීහු පෙන්වා දුන්හ. එමෙන්ම යාපනය ශික්ෂණ රෝහල ජාතික රෝහලක් බවට පරිවර්තනය කරගැනීමේ අවශ්‍යතාවයද ඔවුන් කාරක සභාවට දැන්වූහ. එහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා, ලංකාවේ දැනට ජාතික රෝහල් 3ක් පවතින බවත් නුදුරේදී අවශ්‍ය නිර්ණායක සම්පූර්ණ කිරීමෙන් පසු යාපනය ශික්ෂණ රෝහල ජාතික රෝහලක් බවට පරිවර්තනය කිරීමට බලාපොරොත්තු වන බව පැවසුවේය. එමෙන්ම කාර්ය මණ්ඩලය පිළිබදව නැවත සමාලෝචනය කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී කාරක සභා සභාපතිවරයා විසින් පෙන්වා දුන්නේය.
තවද යාපනය ශික්ෂණ රෝහල සඳහා අභ්‍යන්තර විගණකවරයෙක් රෝහලට පත්කොට රෝහල් පරිපාලනය ඇතුළු රෝහලේ ක්‍රියාකාරිත්වයේ විනිවිදභාවය ආරක්ෂා කරගැනීමට අවශ්‍ය සහය ලබාදෙන ලෙස රෝහල් පරිපාලන බලධාරීන් කාරක සභාවෙන් ඉල්ලා සිටියේය.












