රුපියල් ලක්ෂ 166කට අධික රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුකරයේ සැකකරුවෙකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පෙබරවාරි 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේ ය.
ඒ රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව අද (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දීය.
බන්ධනාගාරය තුළදී සැකකාර සමන් ඒකනායකගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවසර දෙන ලෙස මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල් දීලීප පීරිස් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා හෙට දින ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර දෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේ ය.












