හිටපු පෙම්වතියගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ WhatsApp සමූහයක බෙදා ගැනීමේ චෝදනාවට වරද පිළිගත් තරුණයෙකුට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් අද (23) මාස හයක ලිහිල් සිර දඬුවමක් නියම කරන ලද අතර එය වසර දහයක කාලයකට අත්හිටුවන ලදී.
වින්දිත තරුණියට රුපියල් 75,000 ක වන්දියක් ගෙවන ලෙස ද මහේස්ත්රාත්වරයා වරදකරුට තවදුරටත් නියෝග කළේය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි විත්තියේ නීතිඥවරයා කියා සිටියේ සැකකරු පැමිණිලිකාරිය කිසිදු තර්ජනයකට හෝ අනිසි බලපෑමකට ලක් කර නොමැති බවත්, හැකි ඉක්මනින් වරද පිළිගෙන ඇති බවත්ය. නඩු කටයුතුවල මුල් අවධියේ දී සැකකරු වරද පිළිගෙන ඇති බවත්, ඒ අනුව ලිහිල් දඬුවමක් ඉල්ලා සිටින බවත් නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.
සියලු තත්වයන් සලකා බැලීමෙන් පසු, මහේස්ත්රාත්වරයා මාස හයක ලිහිල් සිර දඬුවමක් නියම කළ අතර, එය වසර දහයකට අත්හිටුවා, පැමිණිලිකාරියට වන්දි වශයෙන් රුපියල් 75,000ක් ගෙවීමට නියෝග කළ අතර රුපියල් 2,500 ක දඩයක් ද නියම කළේය.
සැකකරුට වන්දි ගෙවීම සඳහා මාසයක කාලයක් ලබා දෙන ලෙස විත්තියේ නීතිඥවරයා තවදුරටත් ඉල්ලා සිටි අතර, අධිකරණය එම ඉල්ලීමට අවසර දුන්නේය.
අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලද කරුණු වලට අනුව, පැමිණිලිකාරිය ඇගේ හිටපු පෙම්වතා වූ සැකකරුට සම්බන්ධතාව පැවති සමයේ තමාගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ යවා තිබේ. පසුව සැකකරු එම ඡායාරූප ඔහුගේ මිතුරන්ගෙන් සමන්විත WhatsApp කණ්ඩායමක් සමඟ බෙදා ගෙන ඇත. සිද්ධිය දැනගත් පසු, පැමිණිලිකාරිය පරිගණක අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් ගොනු කර ඇත.












