
ශ්‍රී ලංකා – ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය විසින් සංවිධානය කරන ලද “අනාගතයට සූදානම් – ඉන්දු-ලංකා සහයෝගීතා සංවාදය” යන මැයෙන් සාකච්ඡාවක් ඊයේ (පෙබ. 05) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, දෙරටේම රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ප්‍රතිපත්ති විශේෂඥයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
බලශක්ති හවුල්කාරිත්වය සහ සමුද්‍රීය සහයෝගීතාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සබඳතා කෙරෙහි මෙම සංවාදයේදී අවධානය යොමු විය. මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහයෝගය සහ ‘ෆැක්ටම්’ ආයතනයේ තාක්ෂණික සහය මෙම සංවාදය සංවිධානය කිරීම සඳහා හිමිවී තිබිණි.
ශ්‍රී ලංකා – ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් දැක්වීමෙන් අනතුරුව වැඩසටහන ආරම්භ විය. කලාපීය සහ ගෝලීය අභියෝගවලට මුහුණ දෙමින්, තිරසාර හා අන්‍යෝන්‍ය වශයෙන් ඵලදායි සහයෝගීතාවයක් අත්කර ගැනීම සඳහා මෙවැනි සංවාදයක වැදගත්කම අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ඉන්දීය වැඩබලන මහ කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ මහතා, ශ්‍රී ලංකා – ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයට සහ මෙරට ප්‍රතිපත්ති සම්පාදකයින්ට, මෙම සංවාදය සංවිධානය කිරීම සම්බන්ධයෙන් සිය කෘතඥතාව පළ කළේය. තිරසාර ආර්ථික සහයෝගීතාවයක් සඳහා ණය ලබා ගැනීමට නැඹුරු මූල්‍යකරණයට වඩා ආයෝජනවලට නැඹුරු මූල්‍යකරණයේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.
මෙම සංවාදය සැසවාර දෙකක් යටතේ පවත්වන ලදී. පළමු සැසියේදී බලශක්ති හවුල්කාරිත්වය කෙරෙහි අවධානය යොමු කළ අතර, චින්තන් පර්යේෂණ පදනමේ සභාපති සහ හිටපු ඉන්දීය පරිපාලන නිලධාරියෙකු වන ශිෂිර් ප්‍රියදර්ශි සහ ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකිරීමේ කාර්ය සාධක බලකායේ ප්‍රධානී පුබුදු නිරෝෂන් යන මහත්වරු විසින් අදහස් පළ කරන ලදී. බලශක්ති සම්බන්ධතාවය, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සහ ඒකාබද්ධ සහයෝගීතාව සඳහා නව මාර්ග ඇතුළු බලශක්ති සහයෝගීතාව සඳහා පවතින අවස්ථා සාකච්ඡා කිරීම මෙහිදී සිදුවිය.
දෙවන සැසිය ඉන්දියානු සාගරයේ උපායමාර්ගික වැදගත්කම පිළිබිඹු කරමින් සමුද්‍රීය සහයෝගීතාව කෙරෙහි අවධානය යොමු කළේය. සමුද්‍රීය ආරක්ෂාව, සමුද්‍රීය කර්මාන්තයේ තිරසාර සහයෝගීතාව, සමුද්‍රීය මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ විභවය සහ අදාළ අභියෝග සාකච්ඡා කරන ලදී. චින්තන් පර්යේෂණ පදනමේ සාමාජික ආචාර්ය චාවි වසිෂ්ට් සහ සමුද්‍ර විශ්ලේෂක සහ හිටපු ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරි රියර් අද්මිරාල් වයි.එන්. ජයරත්න (විශ්‍රාමික) යන මහත්ම මහත්මීහු මෙහිදී අදහස් ඉදිරිපත් කළහ.
මෙම සංවාදය මෙහෙයවනු ලැබුවේ ෆැක්ටම් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ඕමාර් රාජරත්නම් මහතා විසිනි. ශ්‍රී ලංකා-ඉන්දියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අනාගත ක්‍රියාකාරී සැලසුම් කෙරෙහි ද මෙහිදී අවධානය යොමු විය. වැඩසටහනේ සමාප්තිය සනිටුහන් කරමින් අදහස් දැක්වූ ශ්‍රී ලංකා-ඉන්දියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා, මෙම කටයුතු සාර්ථක කර ගැනීමට සහයෝගය සහ නායකත්වය වෙනුවෙන් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඇතුළු පිරිසට සිය කෘතඥතාව පළ කර සිටියේය.













