42 වැනි විගණකාධිපතිවරයා පත් කිරීම ශ්‍රී ලංකා විගණන සේවා සංගමය සිය ස්ථාවරය හෙළි කරයි

42 වැනි විගණකාධිපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විගණන සේවා සංගමය අද (02) මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය. එම නිවේදනයේ සහන් වන්නේ විගණකාධිපති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ ස්ථාවරයේ වෙනසක් නැති අතර එම සංගමය අඛණ්ඩව සිය ස්ථාවරයේ ම රැඳී සිටින බවයි.

එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වේ.

42 වැනි විගණකාධිපතිවරයා පත් කිරීම

විගණකාධිපති තනතුරු පසුගිය අප්‍රේල් මස 06 වැනි දින පුරප්පාඩු වීමට ප්‍රථම රාජ්‍ය විගණන සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ධර්මපාල ගම්මන්පිල මහතා එම තනතුරට පත්කරන ලෙස ජාතික විගණන කාර්යාලයේ අංශ ප්‍රධානීන්ගේ සංසදය විසින් එහි සාමාජිකයින් සියලු දෙනාගේ අත්සනින් යුතුව 2025 මාර්තු 19 වැනි දින ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළේය.

ශ්‍රී ලංකා විගණන සේවා සංගමය විසින් ද විධායක සභාවේ ඒකමතික තීරණය අනුව එවැනිම ඉල්ලීමක් ඉදිරිපත් කළ අතර, ශ්‍රී ලංකා විගණන සේවා සමගමය, රජයේ විගණන නිලධාරීන්ගේ සංගමය යන  ජාතික විගණන කාර්යාලයේ සක්‍රීය වෘත්තීය සමිති ඒ්කාබද්ධව 2025 අප්‍රේල් 02 වැනි දින එවැනිම ඉල්ලීමක් ජනපතිවරයා වෙත ඉදිරිපත් කළේය.

ජනාධිපතිවරයා විසින් 2025 අප්‍රේල් 06 වන දින සිට අවස්ථා කිහිපයකදී වැඩ බැලීමේ පදනම මත ධර්මපාල ගම්මන්පිල මහතා පත් කළ අතර 2025 මැයි මස ස්ථිර පදනමින් ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂවරයෙකු විගණකාධිපති තනතුරට පත් කිරීමේ යෝජනා ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කළ අතර  එම යෝජනාව ප්‍රතික්ෂේප වීමෙන්  පසු නැවත වරක් මාස 6ක කාලසීමාවක් සඳහා වැඩ බැලීමට ධර්මපාල ගම්මන්පිල මහතා පත් කළේය.

එම වැඩ බැලීමේ කාලය 2025 දෙසැම්බර් මස 06 වැනි දින අවසන් වීමෙන් පසු මාස තුනක කාලයක් සඳහා නවත වරක් වැඩ බැලීමට ගම්මන්පිල මහතා යෝජනා කළ නමුත්, විගණකාධිපති තනතුර දීර්ඝ කාලයක් වැඩ බැලීමේ තනතුර මත පවත්වා ගෙන යාමේ නුසුදුසුකම පෙන්වා දෙමින්, ස්ථිර පදනමින් විගණකාධිපතිවරයෙකු පත් කිරීමේ අවශ්‍යතාව ව්‍යවස්ථාදායක සභාව අවධාරණය කර තිබුණේය.

ඉන් පසු ජනපතිවරයා විසින් ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිලධාරියෙකු ස්ථිර පදනමින් විගණාකාධිපති තනතුරට පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාවට යෝජනා කළ ද එම යෝජනාව ද ප්‍රතික්ෂේප විය.

ඒ අතර නියෝජ්‍ය විගණකාධිපති ඒ.එල්.අයි. ජයරත්න මහත්මියගේ නම වැඩ බැලීමේ පදනම මත යෝජනා කළ ද ව්‍යවස්ථාදායක සභාව එම නාම යෝජනාව ද ප්‍රතිෂේප කළේය.

විගණකාධිපති තනතුරට  නිලධාරියෙකු පත් කිරීම පසුගිය කාලය පුරා සුමට සිදු වූ අතර, ‘විශේෂ’ අවස්ථා දෙකක දී හැර අන් සෑම අවස්ථාවකදී අප ආයතනයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා විගණකාධිපතිවරයා වශයෙන් පත් කිරීම සාම්ප්‍රදායිකව සිදුවිය.

සංගමය පිළිබ සමාජ ප්‍රතිරූපය

රාජ්‍ය  මූල්‍ය පාලනයේ පැවැති දුර්වලතා  සම්බන්ධයෙන් සමාජය තුළ පුළුල් කතිතාවක් ගොඩනනැගීම සඳහා අප සංගමය 2019 වර්ෂයේ සිට සක්‍රීය දායකත්වයක් ලබා දුන්නේය. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් රජයට අයත් සමාගම් විගණකාධිපතිවරයාගේ විෂයපථයෙන් ඉවත් කිරීම සදහා ඉදිරිපත් කළ යෝජනාව පරාජයට පත් කිරීමට එවකට පැවැති රජයට දැඩි අභියෝගයක් එල්ල කළ අප සංගමය අධිකරණ ක්‍රියාමාර්ගයන්ට යොමු වූ අතර රජයේ එම උත්සාහය පරාජය කිරීමට අප සංගමයට හැකි විය.

රටේ ආර්ථික පරිහාණියට රාජ්‍ය මූල්‍ය පාලනයේ පැවැති දුර්වලතා දායක වූ ආකාරය පිළිබඳ 2022 වර්ෂයේ රට තුළ පැවැති අරගල ව්‍යපාරය තුළ පුළුල් කතිකාවක් ඇති කිරීමට අප සංගමයට හැකි විය.

මෙම පසුබිම තුළ අප සංගමය කිසිදු දේශපාලන ලැදියාවකින් හෝ බැදීමකින් තොරව ස්වාධීනව පොදු සමාජ යහපත උදෙසා කටයුතු කරන සංවිධානයක් බව ජනතාව සහ වෘත්තිකයින් හමුවේ ඉහළ පිළිගැනීමට ලක්ව ඇත.

ඒ තත්ත්වය ඉහළ වැටුප් තලයක් සහිතව රාජ්‍ය විගණන සේවාව ස්ථාපිත කිරීමට ද පිටුවහලක් වූ බව හිටපු විගණකාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ද ඇතුළු සියලු පාර්ශ්ව පිළිගන්නා කරුණකි.

වත්මන් අර්බුදයේ මුල කොතැනද ?

42 වැනි විගණකාධිපතිවරයා පත් කිරීම ආන්දෝලනාත්මක සහ ගැටලුකාරී තත්ත්වයක් බවට පත් වූයේ අප ආයනයේ නිලධාරීන් කිහිප දෙනකුගේ පටු පුද්ගලික  අවශ්‍යතා හේතුවෙනි. ඔවුන්ගේ පටු පුද්ලික අභිප්‍රාය වන්නේ විගණකාධිපතිවරයා තමන්ගේ න්‍යාය පත්‍ර අනුව කටයුතු කළ හැකි තැනැත්තෙක් වනු දැකීම සහ ඔවුන්ට එරෙහිව ඇති විනය චෝදනාවන්ගෙන් නිදහස් වීමට මාවතක් සකසා ගැනීමය. ඒ සඳහා පහසු මාවතක් ලෙස ‘ගම්මන්පිල භීතිකාවක්’ ආණ්ඩුව තුළ නිර්මාණය කිරීමට මෙම අවස්ථාවාදී කල්ලිය උපක්‍රම යෙදීය.

ඔවුන්ගේ එම අදූරදර්ශී පියවර වත්මන් ආණ්ඩුව දැඩි අපහසුතාවට පත් කිරීමට හා අණ්ඩුව සම්බන්ධ විශ්වාසය පළුදු කිරීමට හේතු වී ඇති බව මේ වන විට දැක ගත හැකිය.

අප සංගමය විසින් පසුගිය කාලය තුළ ගන්නා ලද ක්‍රියාමාර්ග හේතුවෙන් විගණකාධිපති ධූරයට බාහිර පුද්ගලයෙකු පත් කිරීමට ඇති හැකියාව සීමා කිරීමට හැකි වීම අප ලැබූ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය. අප සංංගමය විසින් ගන්නා ලද මෙම පියවර වත්මන් විගණකාධිපතිවරයා පත් කිරීමට පමණක් නොව අනාගතයේ දී ද කුමන ආණ්ඩුවක් විසින් හෝ විගණකාධිපති ධුරය සඳහා බාහිර පුද්ගලයෙකු පත් කිරීම වැළැක්වීමට ගන්නා ලද ශක්තිමත් පියවරක් බවට පත්ව ඇත.

අපේ වත්මන් ස්ථාවරය

විගණකාධිපති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් අප සංගමයේ ස්ථාවරයේ වෙනසක් නැති අතර අප අඛණ්ඩව එකී ස්ථාවරයේ ම රැඳී සිටිමු.

ඉහත දක්වන ලද කල්ලි‌යේ පටු වුවමනාවන් මත නියෝජ්‍ය විගණකාධිපති එල්.එස්. අයි. ජයරත්න මහත්මිය විගණාධිපති ධුරයට යළි නාමයෝජනා වීම තුළ එතුමිය මෙන්ම ආයතනය ද යළි අපහසුතාවට හා අපකීර්තියට පත්ව තිබේ. ඊට හේතු වන්නේ ඇය සම්බන්ධ අතිෂය පුද්ගලික තොරතුරු රාශියක් මේ වන විට සමාජ මාධ්‍යවලට නිරාවරණය වීමය.

තමන් විසින් ගන්නා ලද අවස්ථාවාදී හා පටු පියවර සඟවා ගනු පිණිස එහි වගකීම අප සංගමය වෙත පැවරීමේ නිර්ලජ්ජිත උත්සාහයක ඉහත කල්ලිය නිරත වී සිටින අතර, එකී චෝදනා අප සංගමය තරයේ ප්‍රතික්ෂේප කරමු.

ජයරත්න මහත්මිය 2023 වර්ෂයේ පෞද්ගලික හේතු මත, ලිඛිත දැනුම් දීමක් මගින් අප සංගමයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇති අතර ඇය වර්තමානයේ අප සංගමයේ සමාජිකාවක් නොවන බව ද ඔබ වෙත දැනුම් දෙමු.

කෙසේ වුවත් ජයරත්න මහත්මියගේ නාම විගණකාධිපති ධුරය සඳහා ජනපතිතුමා විසින් යළි යෝජනා කිරීම හෝ ඇය විගණකාධිපති ධුරයට පත් වීම වළක්වා ලීමට අප සංගමය විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව වගකීමෙන් යුතුව අවධාරණය කරමු.

නමුත් අප සංගමය පෙන්වා දෙන්නේ ජයරත්න මහත්මියගේ කීර්ති නාමය සහ වෘත්තීය අනාගතය මේ සමඟ දැඩි අවධානමකට ලක්ව ඇති බවත් එහි වගකීම උක්ත කල්ලිය විසින් විසින් භාර ගත යුතු බවත්ය.

පසුගිය කාලය තුළ අප සංගමය අප ආයතනයේ කීර්ති නාමය ඉහළට ඔසවා තැබීම වෙනුවන් මෙන්ම, නිලධාරීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා මේ දක්වා ඉටු කළ කාර්යභාරය තව දුරටත් නොපිරිහෙළා, ශක්තිමත්ව ඉටුකරනු ලබන බවට සහතික වන අතර, අවස්ථාවාදී ප්‍රචාරයන් පිළිබඳව සැලකිලිමත් වන ලෙස  ද ඔබ වෙත සහෝදරත්වයෙන් දැනුම් දෙමු.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website