ආපදාවෙන් පූර්ණ හානි සිදු වූ නිවාස වෙනුවෙන් වන්දි ප්‍රදානය සහ නව නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළ ජනවාරි 09 වන දා ඇරඹේ

ආපදාවෙන් පූර්ණ වශයෙන් හානියට පත් නිවාස වෙනුවෙන් වන්දි ප්‍රදානය සහ නව නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළ මෙම ජනවාරි 09 වන දා අනුරාධපුරයෙන් සහ කුරුණෑගලින් ආරම්භ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දස වන පාර්ලිමේන්තුවේ, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දෙවැනි රැස්වීම සඳහා අද (07) පස්වරුවේ සහභාගී වෙමිනි.

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙළහි වත්මන් තත්ත්වය සහ යළි පදිංචි කිරීමේ සහ වගා හානි සඳහා වන්දි ලබා දීමට ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර නිවැරදි දත්ත රැස් කර ගනිමින්, සත්‍ය සංඛ්‍යා ලේඛන මත පදනම්ව අදාළ වන්දි ගෙවීමේ කටයුතු කඩිනම් කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙන බවද ජනාධිපතිවරයා පැවසීය.

ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් වෙනුවෙන් ක්‍රියාත්මක ණය යෝජනා ක්‍රමය පිළිබදවද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර, බැංකු සමඟ සාකච්ඡා කර, එම ණය මුදල ලබා ගැනීම පිළිබඳව ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම, රටේ ආර්ථිකයට දායක වන සෑම ව්‍යාපාරයක්ම ලියාපදිංචි කිරීම සඳහා වූ යාන්ත්‍රණයක අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා එහි ප්‍රතිලාභ පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දුන්නේය.

එසේම, පසුගිය ආපදා තත්ත්වය හමුවේ පීඩාවට පත් ලියාපදිංචි නොකළ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්හට සහන සැලසීම පිළිබඳවද රජය අවධානය යොමු කර ඇති බවත්, ඒ පිළිබඳ වාර්තා ලබා දීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් වෙන් කර තිබෙන මුදල් කාර්යක්ෂමව වැය කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, එසේ නොවුණහොත් නිසි කාලය තුළ අපේක්ෂිත සංවර්ධන අරමුණු ඉටු කර නොහැකි වනු ඇති බවද සඳහන් කළේය.

ආපදාවෙන් පසු ජන ජීවිතය යළි ගොඩනැංවීමේදී පැවති තලයට වඩා එම ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළට ඔසවා තැබෙන අන්දමින් එම කටයුතු සිදු කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website