2025 වර්ෂයේ දී අපේක්ෂිත සංචාරක ආදායමෙන් ලබා ගැනීමට හැකි වූයේ 64%ක් පමණ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පැවසුවේය.
2025 දී ශ්‍රී ලංකාවේ සංචාරක ඉපැයීම් එහි ඉලක්කය වූ ඩොලර් බිලියන 05ට වඩා දළ වශයෙන් ඩොලර් බිලියන 1.8කින් අඩු වූ බව ද අමාත්‍යවරයා පැවසුවේය.
2025 දී ශ්‍රී ලංකාව ඉලක්ක කරගත් සංචාරක පැමිණීම් මිලියන තුනකි. නමුත් 2025 අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණිලි සමස්ත සංචාරකයින් පිරිස 23,62,000කි. ඒ අනුව සංචාරන පැමිණීම් ඉලක්ක ගත සංඛ්‍යාවට වඩා ආසන්න වශයෙන් 638,000 කින් පමණ අඩු විය. 2025 පැමිණීම් 2024 දී වාර්තා වූ මුළු පැමිණීම්වලට වඩා 13.9% ක සුළු වැඩිවීමක් පෙන්නුම් කරයි.
2018 දී ශ්‍රී ලංකාව ඉහළම සංචාරක ආදායම වාර්තා කළ අතර, එම වසර තුළ ඩොලර් බිලියන 4.4ක ආදායමක් උපයා ඇත. 2025 සඳහා මුළු ආදායම ශ්‍රී ලංකාවේ නිල නාලිකා විසින් තවමත් නිකුත් කර නොමැත.
“ගෝලීය සංචාරක ප්‍රවණතා හා සසඳන විට සංචාරකයින් 2,362,000ක් සමඟ අපි සැලකිය යුතු වර්ධනයක් අත්කර ගෙන තිබෙනවා. මෙම පැමිණීමේ ප්‍රතිඵලයක් ලෙස ඩොලර් බිලියන 3.2 ක ආදායමක් ලැබුණා,” සංචාරක කටයුතු අමාත්‍යවරයා පැවසුවේය.
“පසුගිය වසරේ ක්‍රියාත්මක කරන ලද ඉලක්කගත ප්‍රවර්ධන වැඩසටහන් සහ සාමූහික උත්සාහයන් හේතුවෙන්, 2025 වසර අපගේ ඉතිහාසයේ වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණෙන වසර බවට පත් කිරීමට අපට හැකි වුණා,” ඔහු වැඩි දුරටත් පැවසීය.
විදේශ රැකියා සහ සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ඒකාබද්ධ ඉපැයීම් ආර්ථිකයට ඩොලර් බිලියන 11ක් පමණ දායක වූ බව අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.
“ප්‍රේෂණ වලින් ඩොලර් බිලියන 7.8 ක සහ සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 3.2ක් ඒකාබද්ධ කිරීමෙන්, අපගේ අමාත්‍යාංශය මෙම අංශ දෙකෙන් පමණක් ඩොලර් බිලියන 11කට ආසන්න මුදලක් උපයා තිබෙනවා.” ඔහු තවදුරටත් පැවසීය.












