
ප්‍රවාහන අමාත්‍යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ අමාත්‍යාංශයේ ඩිජිටල් කාර්ය සාධක බලකාය සමඟ එක්ව ශ්‍රී ලංකාව පුරා මාර්ග ආශ්රිත ගැටලු වාර්තා කිරීමට පුරවැසියන්ට ඉඩ සලසන නව පොදු වෙබ් වේදිකාවක් දියත් කර තිබේ.
https://road-lk.org හි ප්‍රවේශ විය හැකි මෙම වේදිකාව, මාර්ග වසා දැමීම්, හානි, අනතුරු සහ අලුත්වැඩියා කටයුතු වැනි මාර්ග තත්ත්වයන් පිළිබඳ තත්‍ය කාලීන තොරතුරු නොමැතිකම විසඳීම සඳහා හඳුන්වා දුන් බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ භාවිතා වන පවතින සංචාලන යෙදුම් එවැනි ගැටලු පිළිබඳව ක්රමානුකූල යාවත්කාලීන කිරීම් ලබා නොදෙන බවත්, එය වෙනත් බොහෝ රටවල ද පවතින පරතරයක් බවත් ඔහු සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කළ ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා, “ලංකාවේ පාරවල් වල තත්ත්වය ගැන ගමනක් යන්න කලින් දැන ගන්න ක්‍රමයක් හරියට අපිට තිබුණේ නැහැ. අපි පාවිච්චි කරන Navigation App වුණත් පාරක් යන්න බැරි තරමට කැඩිලා තියෙන එක, පාරක් වහල තියෙන එක, අනතුරක් වෙලා තියෙන එක, පාරක් අලුත්වැඩියාව වෙනුවෙන් වහන්න යනවා කියන එක වගේ දේවල් Navigation App වලට Update කරන ක්‍රමයක් ලංකාවේ නැහැ, ලෝකෙ ගොඩක් රටවල් වලත් නැහැ. දියුණු රටවල් ගණනාවක තිබුණත් සමහර දියුණු රටවල්වලත් ඒ විදිහටම යාවත්කාලීන වෙන්නේ නැහැ. ඒ නිසා ගමනේ බගයක් ගියාම තමයි දැනගන්නේ එක්කෝ පාර වහලා කියල, නැත්තං වෙන ප්‍රශ්නයක් කියල.
ආපදාවෙන් විශාල වශයෙන් පාරවල් කැඩිලා වහලා තිබුණ නිසා, තවමත් එහෙම තිබෙන නිසා, ඒකත් එක්ක තමයි මාර්ග සංවර්ධන අධිකාරියත් ප්‍රවාහන අමාත්‍යාංශ Digital Task Force එකත් මේ වැඩේ කළේ. මේක අපිට සාමාන්‍ය තත්ත්වයෙදිත් උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් දෙයක්.
කරන්න තියෙන්නේ මොකක්ද?
මේක සම්පූර්ණයෙන්ම වගේ මහජන සහභාගීත්වය මත ගොඩනැගෙන දත්ත පද්ධතියක්. අපි පාරේ යන කොට පාරක් වහල තිබුණොත්ත්, කැඩිලා තිබුණොත්, අනතුරක් වෙලා තිබුණොත් අපිට තියෙන්නේ, ඒක ඉතාම සරල විදිහකට https://road-lk.org වෙබ් එක හරහා report කරන්න.
මේක තමයි අපිට ඕපන් කරගන්න තියෙන වෙබ් එක. මේකේ උඩම තියෙනවා Report කරන්න පුළුවන් තැන. https://road-lk.org/report
අපිට සිංහල දෙමළ ඉංග්‍රීසි ඕන භාෂාවකින් Report කරන්න පුළුවන්. ෆොටෝ තුන හතරකුත් දාන්න පුළුවන්නම් තව හොඳයි.
ජනතාව විදිහට අපිට තියෙන්නේ මේ වැඩේ. අපි Report කළාම මාර්ග සංවර්ධන අධිකාරියෙ නිලධාරීන් ඒක හරියටම හොයලා බලලා එයාලා තමයි ලංකාවේ මාර්ග සිතියමේ මේ ගැටලුව තියෙන ස්ථානය සලකුණු කරන්නේ. අපි පළාත් මාර්ග සංවර්ධන අධිකාරි වලටත් ඒ බලය දීලා තියෙන්නේ.
ජනතාව විදියට මේක වාර්තා කිරීම තමයි ඉතාමත්ම වැදගත් මූලාශ්‍රය. අපිට ජනතාව මිලියන 22ක් ඉන්නවා. තව ඉස්සරහට යද්දී මේ සලකුණු කිරීමේ බලය අපිට පොලිසියේ රථවාහන නිලධාරීන්ටත් ලබා දෙන්න පුළුවන්, ප්‍රාදේශීය ලේකම්ලටත් ලබා දෙන්න පුළුවන්.
තවත් ඉදිරියට ගියාම මේකට අපි ග්‍රාමීය මාර්ගත් එකතු කරන්න හිතා ගෙන ඉන්නවා. ඒක තීරණය වෙන්නේ ජාතික මහා මාර්ග පද්ධතිය සහ පළාත් මාර්ග පද්ධතියේ මෙ වැඩසටහන හොඳට කෙරුණට පස්සේ. මේක හරියට කෙරුණොත් ගමේ ඉන්න ආණ්ඩුවේ නිලධාරීන්ට පවා මේ බලය දෙන්න පුළුවන්. (තමන්ගේ බල ප්‍රදේශයේ පාරක ගැටලුවක් පිළිබඳව කෙලින්ම මාර්ගයේ අඩුපාඩුව සලකුණු කිරීමේ බලය).
සති කිහිපයක් යනකම් මේක අපි කරන්නේ නියමු ව්‍යාපෘතියක් විදියට. ඊට පස්සේ ස්ථිර එකක් විදියට කරනවා. ඒ නිසා අපි හැම කෙනාම ජාතික හා පළාත් මාර්ගවල ගැටලු රිපෝට් කරන්න පුළුවන් මේ වැඩේට අත ගහමු. අනික මේ වැඩේ Full Socialist! හැම කෙනාම හැම කෙනාම වෙනුවෙන්!
ප්‍රවාහන ඇමැති බිමල් රත්නායකගේ facebook ඇසුරිණි.












