ශ්‍රී පාදස්ථානයට ප්‍රවේශ වීමට ඇති හැටන් ප්‍රවේශ මාර්ගයේ ඇති වී ඇති භූ අස්ථාවරත්වය පාලනය කිරීමට නිර්දෙශ

ශ්‍රී පාදස්ථානයට පිවිසෙන හැටන් ප්‍රවේශ මාර්ගයේ, මහගිරි දඹ ප්‍රදේශයේ ඇති වී තිබූ භූ අස්ථාවරත්වය සහ නායයෑම් අවදානම පරීක්ෂා කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් 2025 දෙසැම්බර් මස 02 දින එම ස්ථානයේ විශේෂ ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදු කරන ලදී.

එම ස්ථානීය පරීක්ෂාවෙන් අනතුරුව, රත්නපුර සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලිඛිතව දැනුම් දෙමින්, වන්දනාකරුවන්ගේ ආරක්ෂාව සහ මාර්ගයේ ස්ථායිතාව තහවුරු කිරීම සඳහා අත්‍යවශ්‍ය තාක්ෂණික නිර්දේශ මාලාවක් ඉදිරිපත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර ඇත.

යෝජිත ප්‍රධාන ආරක්ෂක පියවර සහ නිර්දේශ:

  • මෙම ප්‍රදේශයේ පවතින අවදානම් තත්ත්වය අවම කිරීම සඳහා පහත සඳහන් නිර්දේශ කඩිනමින් සිදු කිරීමට ඉදිරිපත් කොට ඇත:
  • පඩි පෙළ ප්‍රතිසංස්කරණය: අස්ථාවර වී ඇති කොටසේ හානියට පත් පඩි පෙළ, මව් පාෂාණයට සවි වන සේ සකස් කොට කොන්ක්‍රීට් හෝ ගල් බැම්මක් (Random Rubble Masonry) මගින් ශක්තිමත්ව නැවත සකස් කිරීම.
  • ජලය ගලා යාම පාලනය: නායයෑම් සිදු වූ කොටසට ජලය ගලා ඒම වැළැක්වීම සඳහා පඩි පෙළේ දෙපසට වන්නට අවම වශයෙන් මිලිමීටර් 300ක් උසැති පැති බැම්මක් ඉදි කිරීම.
  • පාෂාණ කොටස් ස්ථාවර කිරීම: අස්ථාවර තත්ත්වයේ පවතින පාෂාණ කුස්තුර (Rock joints) සඳහා සිමෙන්ති මිශ්‍රණයක් (Non-shrink cement grout) යොදා සීල් තැබීම.
  • සුන්බුන් පාලනය: ප්‍රවේශ මාර්ගය හරහා සුන්බුන් ගලා ඒම වැළැක්වීම සඳහා, එහි පහළ කලාපයේ පිහිටි මාර්ග කොටසෙහි මිලිමීටර් 500ක් පමණ උසැති ආරක්ෂිත පැති බැම්මක් ඉදි කිරීම.
  • අවදානම් ශාක ඉවත් කිරීම: පඩි පෙළට ඉහළින් සහ දෙපස වියනක් සේ රැඳී ඇති ශාක කොටස්, අස්ථාවරව පවතින පස් සහ පඳුරු ප්‍රවේශමෙන් ඉවත් කිරීම.

ඉහත ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කර අවසන් වන තුරු, දැනට පවතින තත්ත්වය යටතේ හැටන් පිවිසුම ඔස්සේ මෙම අස්ථාවර කලාපය හරහා ගමන් කිරීම සීමා කළ යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අවධාරණය කරයි. තව ද, මෙම ස්ථානය රාත්‍රී කාලයේදී හොඳින් ආලෝකමත්ව තබා ගැනීම සහ භූමියේ ඇති විය හැකි යම් වෙනස්කම් පිළිබඳව නිරන්තර අවධානය යොමු කිරීම අනිවාර්ය බව දන්වා සිටී.

මේ සම්බන්ධව ශ්‍රී පාදස්ථානාදිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලයේ භූ විද්‍යාඥ බුද්ධික විජේකෝන් මහතා සහ මධ්‍යම පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා අදහස් දක්වන වීඩියෝව ඉහත දැක්වේ.

https://www.nbro.gov.lk/index.php?lang=si ඇසුරිණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website