ලංකාවේ දැවැන්තම හෙරොයින් ජාවාරම කළ 5කගේ මරණ දඬුවම යළි තහවුරුයි

2019 දී හෙරොයින් කිලෝග්‍රෑම් 151.341 ක් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයින් පස් දෙනෙකුට නියම කරන ලද මරණ දඬුවම අද (21)අභියාචනාධිකරණය විසින් තහවුරු කරන ලදී.

මෙම මත්ද්‍රව්‍ය ‌තොගය එතෙක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය ද වීම විශේෂත්වයකි.

මීගමුව, කට්ටුව පදිංචි චමින්ද රෝහණ ප්‍රනාන්දු, ඇන්ටන් ක්‍රිශාන්ත ප්‍රනාන්දු, දුලාග් රවීන්ද්‍ර පෙරේරා, ලියනදුරගේ සුරංගේ සහ තරිඳු ජයන්ත ප්‍රනාන්දු යන වරදකරුවන්ට හෙරොයින් කිලෝග්‍රෑම් 152.341ක් කුමන්ත්‍රණය කිරීම, ජාවාරම් කිරීම, සන්තකයේ තබා ගැනීම සහ ප්‍රවාහනය කිරීම යන චෝදනා එල්ල විය.

2019 නොවැම්බර් 2 වන දින දකුණු ගැඹුරු මුහුදේදී ‘බුද්ධිම’ නම් බහුදින ධීවර යාත්‍රාවක් ක්‍රියාත්මක කරමින් සිටියදී ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ ධීවරයින් ලෙස මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගත් බවට චෝදනා කරමිනි.

විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඇතුළු ද්වි පුද්ගල විනිසුරු මඩුල්ලක්, විනිසුරු පී. කුමාරරත්නම් මහතාගේ එකඟතාවයෙන් යුතුව, 2023 සැප්තැම්බර් 27 වන දින කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා විසින් ලබා දුන් තීන්දුව මේ අනුව යළි තහවුරු කළේය. මහාධිකරණය විසින් අධිචෝදනා පත්‍රයේ සඳහන් චෝදනා තුනටම විත්තිකරුවන් පස් දෙනාම වැරදිකරුවන් බව තීරණය කර, එක් එක් චෝදනාව සඳහා මරණ දඬුවම නියම කරන ලදී.

දණ්ඩ නීති සංග්‍රහයේ 102 සහ 113B වගන්ති සමඟ කියවන සංශෝධිත විෂ, අබිං සහ භයානක ඖෂධ ආඥා පනතේ 54A(d) වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් මෙම පස් දෙනාට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබුණි.

රජයේ නීතිඥ විශ්ව විජේසූරිය මහතා සමඟ අතිරේක සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website