
2026 ආසියානු කාන්තා පාර්ලිමේන්තු සංසදයේ (Asian Women Parliamentary Caucus) වාර්ෂික රැස්වීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය නියෝජනය කරමින් එහි නියෝජ්‍ය සම සභාපතිනිය වන නීතිඥ චමින්ද්‍රානී කිරිඇල්ල මහත්මිය සහභාගී වූවාය.
මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර පැවති මෙම රැස්වීමේදී ඉන්දියාව, පාකිස්තානය, ජපානය, නේපාලය, මාලදිවයින, තායිවානය, පිලිපීනය සහ මැලේසියාව නියෝජනය කරන කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සමඟ අදහස් හා අත්දැකීම් හුවමාරු කර ගැනීමට අවස්ථාව සැලසුණු අතර, කාන්තා අයිතිවාසිකම්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ දේශපාලනය තුළ කාන්තා නායකත්වය ශක්තිමත් කිරීම සඳහා කලාපීය සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳව ද අවධානය යොමු විය.
මෙම නිල සංචාරය අතරතුර මැලේසියානු පාර්ලිමේන්තුව නැරඹීමට ද අවස්ථාව සැලසුණු අතර, එහිදී පැවති විශේෂ මාර්ගෝපදේශක චාරිකාව තුළින් එරට පාර්ලිමේන්තු සම්ප්‍රදායන්, ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලීන් සහ ව්‍යවස්ථාදායක කටයුතු පිළිබඳව වටිනා අවබෝධයක් ලබා ගැනීමට හැකි විය. එමෙන්ම මැලේසියානු අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා හමුවීමට ද අවස්ථාව උදා විය.
තවද, මැලේසියාවේ ජර්මානු තානාපතිනියගේ නිල නිවස වෙත ගොස් ඇය හමුවීම ද මෙම සංචාරයේ තවත් සුවිශේෂී අවස්ථාවක් වූ අතර, එය ජාත්‍යන්තර මිත්‍රත්වය සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ලැබුණු අවස්ථාවක් විය.
මෙම සංචාරය තුළින් කලාපීය කාන්තා පාර්ලිමේන්තු නියෝජිතයන් අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමටත්, ජාත්‍යන්තර පාර්ලිමේන්තු සබඳතා සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගැනීමටත් වැදගත් අවස්ථාවක් සැලසිණි.














