ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

රාජ්‍ය, පාසල්, නිෂ්පාදන සහ සේවා අංශයන්හි විශිෂ්ටත්වය ඇගයීමේ අරමුණින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

ඵලදායිතාව, නවෝත්පාදනය, කාර්යක්ෂමතාව සහ අඛණ්ඩ වැඩිදියුණු කිරීම වෙනුවෙන් විශිෂ්ට කාර්ය සාධනයක් පෙන්නුම් කළ ආයතන මෙහිදී ඇගයීමට ලක් කෙරුණු අතර, ජයග්‍රාහී ආයතන වෙත රන් සම්මාන පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

2003 වර්ෂයේදී ප්‍රථම වරට ආරම්භ කර වසර දෙකකට වරක් පවත්වනු ලබන ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය මෙවර පැවැත්වුණේ 2021 වසරින් පසුව වන අතර, රජයේ ප්‍රධාන වැඩසටහනක් වන Clean Sri Lanka ජාතික වැඩසටහන සමඟ සම්බන්ධ කරමින් එය සංවිධානය කිරීම විශේෂත්වයකි.

රාජ්‍ය, පාසල්, නිෂ්පාදන සහ සේවා අංශයන්හි ආයතන යහපත් පරිචයන් අනුගමනය කිරීමට, සම්පත් කාර්යක්ෂමව භාවිත කිරීමට සහ තම සේවාවන්හි හා නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ ඵලදායිතාව ඉහළ නැංවීමට මෙම තරගාවලිය මඟින් දිරිගන්වනු ලබයි. මෙම සම්මාන ප්‍රදානය රාජ්‍ය අංශය, පාසල් අංශය, නිෂ්පාදන සහ සේවා අංශය යන ප්‍රධාන අංශ තුන ආවරණය කරයි. නායකත්වය, උපායමාර්ගික කළමනාකරණය, මානව සම්පත් සංවර්ධනය, පාර්ශවකරුවන් සමඟ සබඳතා, මෙහෙයුම් ක්‍රියාවලීන්, නවෝත්පාදනය, ඩිජිටල්කරණය සහ මැනිය හැකි ඵලදායිතා ප්‍රතිඵල ඇගයීමේ නිර්ණායක අතර වේ.

එමෙන්ම Clean Sri Lanka ජාතික වැඩසටහනේ ප්‍රධාන කුලුනු වන සමාජීය, පාරිසරික සහ ආචාර ධාර්මික යන කරුණු ඇගයීම් රාමුවට ඇතුළත් කර තිබෙන අතර, සේවක සුබසාධනය, ප්‍රජා සහභාගීත්වය, අපද්‍රව්‍ය කළමනාකරණය, බලශක්ති කාර්යක්ෂමතාව, හරිත ඵලදායිතාව, විනිවිදභාවය, වගවීම සහ ආචාරධාර්මික පාලනය පිළිබඳ විශේෂ අවධානය යොමු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website