ක්‍රිෂ් නඩුව: නාමල් රාජපක්ෂගේ අත් අකුරු වල රස පරීක්ෂක වාර්තාවක් ඉල්ලයි

ක්‍රිෂ් නඩුකරයට අදාළව විමර්ශනවලට භාජනය වී තිබෙන ලේඛනයක අන්තර්ගත වී ඇති සැකකාර නාමල් රාජපක්ෂ මහතාගේ අත්අකුරු සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම සඳහා එය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබෙන බව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂවරිය අධිකරණය හමුවේ පැවසුවාය.

එම විමර්ශනය කිරීම සඳහා අදාළ ලේඛනයේ මුල් වාර්තාව රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා ඇති බව ද ඇය වැඩි දුරටත් සඳහන් කළා ය.

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් කරන විමර්ශනවලට අදාළ නඩුකරය අද (නොවැ: 06) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ ඇය මේ බව පැවසුවාය.

සැකකාර නාමල් රාජපක්ෂ සහ තවත් සැකකාරියක වන ජානකී සිරිවර්ධන බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.

නාමල් රාජපක්ෂ මහතාගේ අත් අකුරු සම්බන්ධ එම මුල් ලේඛනය කොළඹ මහාධිකරණයේ අංක 07 ශාලාවේ පවතින නඩු ගොනුවක පවතින අතර එම ලේඛනය ලබාගෙන රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීම සඳහා අවශ්‍ය නියෝගයක් කොළඹ මහාධිකරණයේ අංක 07 ශාලාවේ රෙජිස්ට්‍රාර්වරයා වෙත නිකුත් කරන ලෙස ද අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා ය.

එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ එම ඉල්ලීම අද දින ඉදිරිපත් කළ වැඩිදුර වාර්තාවේ අන්තර්ගත වී නොමැති බව යි. ඒ අනුව අදාළ ඉල්ලීම ලේඛන සහිතව ඉදිරි දිනයක ඉදිරිපත් කර අදාළ ඉල්ලීම තහවුරු කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට නියෝග කළේ ය.

මෙම නඩුකරය ලබන 20 වන දා යළි කැඳවන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින තෙක් සැකකාර ජානකී සිරිවර්ධන රිමාන්ඩ් භාරයේ තැබීමට ද නියෝග කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website