රුපියල් මිලියන 4261ක පරිපූරක ඇස්තමේන්තුවක් හෙට විවාදයට

2026 අංක 8 පරිපූරක ඇස්තමේන්තුව හෙට (නොවැම්බර් 05) අනුමතිය සඳහා විවාදයට ගැනීමට අද (නොවැ. 04) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය. 

ඒකාබද්ධ අරමුදලෙන් හෝ රජයට අයත් අනිකුත් ඕනෑම අරමුදලකින් හෝ මුදලකින් රුපියල් මිලියන හාරදහස් දෙසිය හැට එකක් (රු. 4,261,000,000.00) ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබේ. වෙනස්වන මෙහෙයුම් පරිසරය, බෙංගාල බොක්ක සහ ඒ අවට ඇති ආපදාවන්ට ගොදුරු විය හැකි නිරන්තර අහිතකර කාලගුණික තත්වයන්ගෙන් පැන නගින ආසන්න තර්ජන පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නියමුවන් රහිත ගුවන්යානා පද්ධතියක් ස්ථාපිත කිරීම සදහා මෙම මුදල් යෙදවීමට නියමිතව ඇත.

මීට අමතරව පෙර තීරණය කළ පරිදිම පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා, භාර (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම) විවාදයට ගැනේ. (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වගන්තිය අනුව මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අභියෝගයට ලක් නොවුනහොත්). සිකුරාදා (06) දිනයේ පාර්ලිමේන්තු කටයුතුවල කිසිදු වෙනසක් සිදු නොවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website