දිල්ෂාන්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ පාකිස්ථානය අසරණ වෙයි – ශ්‍රී ලංකාව තුන්කොන් තරගාවලියේ අවසන් සටනට

දිල්ෂාන් මධුශංකගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ පාකිස්තාන කණ්ඩායම ලකුණු 110කට සීමා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ, ලාහෝර්හිදී අද (27) පැවැති එක්දින තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කරමින් තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්හ.

පාකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාව පිට පිටම ලැබූ පරාජයන් පහක අමිහිරි මතකය මකා දැමූ මෙම ජයග්‍රහණයත් සමඟ අවසන් මහා තරගයේදී යළිත් පාකිස්තානය හමුවීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට උදා විය. මේ අතර, මෙම ප්‍රතිඵලයත් සමඟ අවසන් මහා තරගයට පිවිසීමේ එංගලන්ත බලාපොරොත්තු ද ගිලිහී ගියේය.

පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 26.3කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 110ක් පමණි. පාකිස්තාන පිතිකරණ ලැයිස්තුව අඩපණ කළ වමත් වේගපන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මධුශංක ලකුණු 34කට කඩුලු 5ක් දවා ගනිමින් සිය එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

මෙය පාකිස්තානය සිය මව්බිමේදී එක්දින ජාත්‍යන්තර තරගයකදී වාර්තා කළ දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව වූ අතර, ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා කළ තෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව ද විය. පාකිස්තානය මව්බිමේදී වාර්තා කළ අඩුම ලකුණු සංඛ්‍යාවට ද වගකිව යුතු කණ්ඩායම වන්නේ ශ්‍රී ලංකාවයි.

පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ බාබර් අසාම් පන්දු 33කදී ලකුණු 29ක් රැස් කළ අතර, ඔහු හැරුණු විට ලකුණු 10 සීමාව පසු කිරීමට සමත් වූයේ තවත් පිතිකරුවන් තිදෙනකු පමණි. පාකිස්තානයේ හත්වැනි කඩුල්ල වෙනුවෙන් අරෆාත් මින්හාස් සහ හසන් නවාස් ගොඩනැගූ ලකුණු 27ක සබඳතාව ඉනිමේ ඉහළම කඩුලු සබඳතාව බවට පත්විය.

එම සබඳතාව බිඳ දැමූ මධුශංක, මින්හාස් වෙත යොමු කළ ඉහළට ඉපිලී ගිය වේගවත් කෙටි පන්දුවකින් පිත්තේ උරහිස ආසන්නයේ වැදී ඉහළ ගිය උඩපන්දුව කුසල් මෙන්ඩිස් රැකගැනීමත් සමඟ ශ්‍රී ලංකාවට තවත් සාර්ථක පියවරක් තැබීමට හැකි විය. අනතුරුව හසන් නවාස් ද දවාගත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ පාකිස්තාන ඉනිම තවදුරටත් කඩා වැට්ටූහ.

මධුශංකට අනගි සහායක් ලබාදුන් සහන් ආරච්චිගේ කඩුලු දෙකක් දවාගත් අතර, අසිත ප්‍රනාන්දු, එෂාන් මාලිංග සහ දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ල බැගින් බිඳ දැමූහ. අසිතගේ වේගවත් ඇතුළට දෝලනය වූ පන්දුවක් හමුවේ මාස් සදාකත් දැවී ගිය අතර, මාලිංගගේ පන්දුවක් හමුවේ බාබර් අසාම්ට ද සිය ඉනිම අවසන් කිරීමට සිදුවිය.

පාකිස්තාන ඉනිමේ දුර්වල පහර තේරීම් සහ ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ විශිෂ්ට දස්කම් ද තරගයේ කැපී පෙනුණි. මධුශංකගේ පන්දු යැවීම හමුවේ අසරණ වූ පාකිස්තාන පිතිකරුවෝ අවසන් කඩුලු අහිමි කරගනිමින් අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා වූහ. අවසන් පිතිකරුවකු ලෙස ක්‍රීඩා කළ ෂහීන් ෂා අෆ්රිඩි පහර කිහිපයකින් ප්‍රේක්ෂකයන්ට යම් සතුටක් ගෙන දුන්නද, මධුශංකගේ පස්වැනි කඩුල්ල බවට පත්වෙමින් දැවී ගියේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා වැඩි වෙහෙසක් දැරීමට සිදු නොවීය. පන්දුවාර 18.1කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 111ක් රැස් කළ ශ්‍රී ලංකා පිතිකරුවෝ ඉලක්කය පහසුවෙන් පසුකර ගියහ. සමස්ත තරගයම පන්දුවාර 43.4කට සීමා වූ අතර, විදුලි ආලෝකය දැල්වීමෙන් වැඩි වේලාවක් ගතවීමටත් පෙර තරගය අවසන් විය.

ශ්‍රී ලංකා ජයග්‍රහණයේ ප්‍රධානතම දායකයා වූ කමිඳු මෙන්ඩිස් පන්දු 60කදී හතරේ පහර සහ හයේ පහරවලින් ඉනිම වර්ණවත් කරමින් නොදැවී ලකුණු 62ක් රැස් කළේය. ඔහුට අනගි සහායක් ලබාදුන් පවන් රත්නායක පන්දු 26කදී නොදැවී ලකුණු 23ක් ලබා ගනිමින් ජයග්‍රහණය සම්පූර්ණ කළේය.

ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය කඩුලු දෙක අවිශ්ක ප්‍රනාන්දුගේ සහ කුසල් මෙන්ඩිස්ගේ විය. අවිශ්ක, ෂහීන් ෂා අෆ්රිඩිගේ කෙටි පන්දුවකට මිඩ්විකට් කලාපයේ පන්දු රකින්නා අතට උඩපන්දුවක් ලබාදුන් අතර, කුසල් අරෆාත් මින්හාස්ගේ පන්දුවක් හමුවේ අවාසනාවන්ත ලෙස කඩුල්ල අහිමි කරගත්තේය.

කමිඳු මෙන්ඩිස්ට ද ඉනිමේ මුල් අවස්ථාවකදී කඩුලු රකින්නා අතින් උඩපන්දුවක් ගිලිහී යාමෙන් වාසනාව හිමි විය. පසුව අර්ධ ශතකය කරා යාමේදී ඔහු ලබාදුන් උඩපන්දුව රැකගැනීමට පන්දු රකින්නා සමත් වුවද, සීමා ඉර ආසන්නයේ වූ දැලෙහි පාදය ගැටීම හේතුවෙන් එම උඩපන්දුව සාර්ථක වූයේ නැත.

මධුශංක එක්දින ජාත්‍යන්තර තරගයකදී කඩුලු පහක් දවාගත් දෙවැනි අවස්ථාව මෙය විය. මීට පෙර 2023 ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාවට එරෙහිව ද ඔහු එම දස්කම දක්වා තිබිණි. එම තරගාවලියේදී වැඩිම කඩුලු ලාභීන් අතරට එක්වූ මධුශංකට පසුව ඇති වූ ආබාධ හේතුවෙන් සිය දක්ෂතා අඛණ්ඩව පවත්වාගෙන යාමට නොහැකි වූ නමුත්, ලෝක කුසලාන වසරකදී ඔහු නැවතත් සිය උපරිම දක්ෂතා අතරට පැමිණීම ශ්‍රී ලංකාවට සුබවාදී ලකුණකි.

තරගයේ ආරම්භයේ සිට අවසානය දක්වාම පාලනය සියතට ගත් ශ්‍රී ලංකාව, මෙම ජයග්‍රහණයත් සමඟ අවසන් මහා තරගයට පිවිසීමට අවශ්‍ය විශ්වාසය ද ගොඩනඟා ගත්තේය. පාකිස්තානයට එරෙහි අවසන් සටනට පෙර ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂතා සහ කමිඳු මෙන්ඩිස්ගේ පිතිකරණය කණ්ඩායමට විශාල ශක්තියක් වනු ඇත.

පාකිස්තානය පන්දුවාර 26.3 කදී සියලු දෙනා දැවී ලකුණු 110 යි – බාබර් අසාම් 29, ශහීන් අෆ්රිඩි 15, අර්ෆට් මින්හාස් 10, හසන් නවාස් 17,  ඩිල්ෂාන් මදුශංක 34/5, සහන් ආරච්චිගේ 24/2, අසිත ප්‍රනාන්දු 34/1, එෂාන් මාලිංග 08/1, දුනිත් වෙල්ලාලගේ 04/1)

ශ්‍රී ලංකාව පන්දුවාර 18.1 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 114 යි – (කමිඳු මෙන්ඩිස් 62*, අවිශ්ක ප්‍රනාන්දු 16, කුසල් මෙන්ඩිස් 08, පවන් රත්නායක 23*, අරෆට් මින්හාස් 23/1, ශහීන් අෆ්රිඩි 29/1)

source:srilankacricket.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website