ශ්රී ලංකාව සහ ජර්මනිය අතර දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් වෙළෙඳාම, ආයෝජන, සංචාරක ව්යාපාරය, අධ්යාපනය සහ අනෙකුත් ප්රධාන ක්ෂේත්රවල සහයෝගීතාව පුළුල් කිරීමට ද දෙරටේ අවධානය යොමු වී තිබේ.
පසුගිය දා (26) කොළඹදී පැවැති ජර්මනියේ ජාතික එක්සත් දින සැමරුම් පිළිගැනීමේ උත්සවයේදී අදහස් දක්වමින් ආචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු මහතා, ශ්රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා, රජය සහ ජනතාව වෙනුවෙන් ජර්මනියේ ජනාධිපතිවරයාට, රජයට සහ ජනතාවට සිය උණුසුම් සුබපැතුම් පිරිනැමීය.
1990 වසරේ ජර්මනිය යළි එක්සත් වීම සිහිපත් කරන ජර්මන් එක්සත් දිනයේ වැදගත්කම පෙන්වා දෙමින්, සාමකාමී සහ සමෘද්ධිමත් අනාගතයක් ගොඩනැඟීම සඳහා සංහිඳියාව, සහජීවනය සහ එක්සත්කම අත්යවශ්ය බව ඔහු සඳහන් කළේය.
ශ්රී ලංකාව සහ ජර්මනිය අතර රාජ්යතාන්ත්රික සබඳතා 1953 වසරේදී ආරම්භ විය. එතැන් සිට දේශපාලන සංවාදය, වෙළෙඳාම හා ආයෝජන, සංචාරක ව්යාපාරය, රැකියා, සංවර්ධන සහයෝගීතාව, අධ්යාපනය, සංස්කෘතිය සහ ජනතා සබඳතා ඇතුළු ක්ෂේත්ර රැසක දෙරටේ සහයෝගීතාව වර්ධනය වී තිබේ.
දිත්වා සුළිකුණාටුවෙන් පසු ජර්මනිය ලබාදුන් සහයෝගය පිළිබඳව සිය කෘතඥතාව පළ කළ ආචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු මහතා, මෑතකාලීන ඉහළපෙළේ හමුවීම් සහ සංචාර දෙරටේ සබඳතා ශක්තිමත් කිරීමට වැදගත් වූ බව පෙන්වා දුන්නේය. දකුණු ආසියාව පිළිබඳ ජර්මානු පාර්ලිමේන්තු මිත්රත්ව කණ්ඩායමේ ශ්රී ලංකා සංචාරය ද පාර්ලිමේන්තු සබඳතා ශක්තිමත් කිරීමට සහ පොදු උනන්දුවක් ඇති කරුණු පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාවක් වූ බව සඳහන් කළේය.
ජර්මනිය ශ්රී ලංකාවේ සිව්වැනි විශාලතම අපනයන වෙළෙඳපොළ වන අතර, 2025 වසරේදී ජර්මනිය වෙත සිදුකළ ශ්රී ලංකාවේ අපනයන වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 700 ඉක්මවා තිබේ. ජර්මානු සමාගම් 160කට වැඩි සංඛ්යාවක් ශ්රී ලංකාවේ ක්රියාත්මක වන අතර, ඒවා මෙරට ආර්ථිකයට දායක වෙමින් ජනතාවට නව අවස්ථා නිර්මාණය කරයි. ව්යාපාරික හවුල්කාරිත්වයන් සහ ආර්ථික සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා AHK Sri Lanka, ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිත කාර්යාලය සහ ශ්රී ලංකා–ජර්මන් ව්යාපාරික සභාව ඉටුකරන කාර්යභාරය ද ඔහු අගය කළේය.
සංවර්ධන සහයෝගීතාව, අධ්යාපනය සහ වෘත්තීය පුහුණුව සඳහා ජර්මනිය ලබාදෙන දායකත්වය ශ්රී ලංකාවට ප්රයෝජනවත් වී තිබේ. “ජර්මන් ටෙක්” ලෙස ප්රචලිත ලංකා ජර්මානු කාර්මික අභ්යාස ආයතනය (CGTTI), මෙරට කාර්මික හා අධ්යාපන ක්ෂේත්රයේ වැදගත් ස්ථානයක් හිමිකර ගෙන ඇත.
සංචාරක ව්යාපාරය ද දෙරට අතර සහයෝගීතාවයේ වැදගත් ක්ෂේත්රයකි. 2025 වසරේදී ජර්මානු සංචාරකයන් 147,966 දෙනෙකු ශ්රී ලංකාවට පැමිණ ඇති අතර, ඒ අනුව ජර්මනිය ශ්රී ලංකාවේ සිව්වැනි විශාලතම සංචාරක වෙළෙඳපොළ බවට පත්ව තිබේ.
කොළඹ ගොතේ ආයතනය (Goethe-Institute) දෙරට අතර සංස්කෘතික සබඳතා වර්ධනය කිරීම සඳහා ඉටුකරන කාර්යභාරය ද ආචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු මහතා අගය කළේය. ජර්මනියේ වෙසෙන 120,000කට අධික ශ්රී ලාංකික ප්රජාව සහ ශ්රී ලංකාවට හිතවත් ජර්මානු ජනතාව දෙරට අතර සමාජීය හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමට දායක වෙති.
ශ්රී ලංකාව සහ ජර්මනිය අතර සබඳතා ඉදිරියට ගෙන යාම සඳහා අඛණ්ඩව කටයුතු කිරීම පිළිබඳව ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමාන් මහතාට සහ තානාපති කාර්යාලයේ කණ්ඩායමට ද ඔහු සිය ස්තුතිය පළ කළේය.
ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම, දෙරටේ ජනතාව අතර සබඳතා වර්ධනය කිරීම සහ සහයෝගීතාව සඳහා නව අවස්ථා ඇති කිරීම ඔස්සේ ජර්මනිය සමඟ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්රී ලංකාව කැපවී සිටින බව ඔහු අවධාරණය කළේය. ජර්මනියේ සාමය, සමෘද්ධිය සහ යහපැවැත්ම මෙන්ම ශ්රී ලංකාව සහ ජර්මනිය අතර දිගුකාලීන මිත්රත්වය වෙනුවෙන් සුබපැතුම් පානයක් ද ඔහු යෝජනා කළේය.













