
අලි මිනිස් ගැටුම සඳහා දීර්ඝ කාලීන විසඳුම් විද්‍යාත්මකව සෙවීම සඳහා නව රජය විසින් ගෙන ඇති සැලසුමේ එක් පියවරක් ලෙස වන අලින්ගේ ස්වාභාවික ආහාර හා ජල අවශ්‍යතා වනාන්තර පද්ධතිය තුළදීම තිරසරව සපුරාලීමේ වැඩසටහන පරිසර අමාත්‍ය දම්මික පැටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයාලේ උපදෙස් පරිදි අනුබද්ධ සියලු ආයතනයන්ගේ සහයෝගයෙන් සාර්ථක ලෙස ක්‍රියාත්මක කරනු ලබන බව පරිසර අමාත්‍යාංශය පවසයි.
වැව් සුපෝෂණ කලාප ඇති කිරීමේ ආරම්භක අදියර ක්‍රියාත්මක වූයේ කලාවැව සහ තබ්බෝව යන වැව් ආශ්‍රිතවයි. ඒ අනුව එම වැව් ආශ්රිත කලාපයන් සුපෝෂණ කලාපයන් බවට පත් කිරීමේ අරමුණින් පරිසර අමාත්‍යාංශය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ආයතනය ඒකාබද්ධව වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.
තබ්බෝව වැව් ආශ්‍රිතව දැඩි පාරිසරික තර්ජනයක්ව පැවති ආක්‍රමණශීලී ශාක ඉවත් කිරීමේ කටයුතු රාජ්‍ය නිලධාරීන්, පාරිසරික විද්‍යාඥයින්, ත්‍රිවිද හමුදාව මෙන්ම ප්‍රදේශවාසී ජනතාවගේ පූර්ණ ශ්‍රම හා තාක්ෂණික දායකත්වයෙන් මීට වසරකට පෙර තබ්බෝව වැව් පරිශ්‍රෙය් දී සිදු කරන ලදි. නව රජයේ තිරසර ජෛව ගෝලයක් සදාහරිත ජීවිතයක් ප්‍රතිපත්තිය බිම් මට්ටමේ ප්‍රායෝගිකව සිදු වන්නක් බැවින් මෙම ඒකාබද්ධ ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය සහ ක්ෂේත්‍ර තත්ත්වය සොයා බැලීම සඳහා පරිසර අමාත්‍යවරුන්ගේ උපදෙස් පරිදි වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවල නිලධාරීන් නිරන්තරයෙන් කටයුතු කරයි.
තබ්බෝව වැව ආශ්‍රිතව පැවති ආක්‍රමණශීලී ශාක ඉවත් කිරීමත් සමඟ වන අලින් ආහාර හා ජලය සොයා ගම්වැදීම වෙනුවට, ස්වාභාවිකවම ප්‍රතිසංස්කරණය වූ වැව් ඉස්මත්තේ තණබිම් කරා පැමිණීමේ ප්‍රවණතාව කැපී පෙනෙන ලෙස වර්ධනය වී තිබෙන බවට නිරීක්ෂණය වී ඇත.
තබ්බෝව සහ කලාවැව ආශ්‍රිතව අත්හදා බලා සාර්ථකත්වය තහවුරු කරගත් මෙම පාරිසරික ආදර්ශය, දිවයිනේ අලි–මිනිස් ගැටුම් බහුලව වාර්තා වන සෙසු සංවේදී වැව් පද්ධති සහ රක්ෂිත කලාප ආශ්‍රිතව ද කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍යාංශය මේ වන විට අවශ්‍ය සියලු සැලසුම් සම්පාදනය කර තිබෙන බව පරිසර අමාත්‍යවරයා පැවසුවේය.













