වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ ආරක්ෂිත සත්ව කොටස් සන්තකයේ තබා ගැනීම සහ ඒවා වෙළඳාම් කිරීම වැළැක්වීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ආරක්ෂක අංශ ඒකාබද්ධව සිදුකරන වැටලීම් තවදුරටත් ක්‍රියාත්මක බව පරිසර අමාත්‍ය දම්මික පටබැඳ මහතා පැවසුවේය.
ඒ අනුව, ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේදී ආරක්ෂිත මුව හා ගෝණ අං තට්ටු සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, රත්නපුර ප්‍රදේශයේදී කොරල්, මුතු බෙල්ලන් ඇතුළු ආරක්ෂිත සාගර ජීවී කොටස් වෙළඳාමට සූදානම් කර තිබූ පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම, රුපියල් ලක්ෂ 15කට මුහුදු බෙල්ලන් අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු මහරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට ද වනජීවී නිලධාරීන් කටයුතු කර තිබේ.
“අපේ වනජීවී සම්පතත්, සාගර ජෛව විවිධත්වයත් ආරක්ෂා කිරීම රටේ අනාගතය වෙනුවෙන් අප සියලු දෙනා සතු වගකීමක්. පරිසර අමාත්‍යාංශයේ මඟ පෙන්වීම සහ අදාළ ආයතනවල සම්බන්ධීකරණය තුළින්, වනජීවී සම්පත් විනාශ කරන සහ නීති විරෝධී ජාවාරම්වල නිරත වන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත්, මෙරට ස්වභාවික උරුමය අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීමටත් අප කටයුතු කරනවා” පරිසර අමාත්‍යවරයා අවධාරණය කළේය.












