පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක පර්යේෂණ කටයුතු ශක්තිමත් කෙරේ

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් 2026 සැප්තැම්බර් 29 සිට ඔක්තෝබර් 02 දක්වා බ්‍රැටිස්ලාවා නුවර පිහිටි ස්ලෝවැකියානු ජනරජයේ ජාතික සභාවේ පැවති ‘Evidence, Innovation, and Foresight in Parliamentary Research’ යන තේමාව යටතේ වූ විශේෂ පුහුණු වැඩසටහනකට සහභාගී වූහ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සමඟ ක්‍රියාත්මක වන Inter Pares හවුල්කාරිත්වය යටතේ මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

පාර්ලිමේන්තු පර්යේෂණ අංශයේ අඛණ්ඩ සංවර්ධනය සඳහා සහාය වීම අරමුණු කරගනිමින් පැවති මෙම වැඩසටහනේදී, ප්‍රමුඛ පෙළේ යුරෝපීය පාර්ලිමේන්තුවල පර්යේෂණ සේවා සමඟ සංසන්දනාත්මක අත්දැකීම් හුවමාරු කර ගැනීම කෙරෙහි අවධානය යොමු විය. පර්යේෂණ ක්‍රියාවලීන්, තත්ත්ව සහතික කිරීම, පහසුවෙන් ප්‍රවේශ විය හැකි පර්යේෂණ නිෂ්පාදන සංවර්ධනය, ඩිජිටල් දැනුම් කළමනාකරණය, කෘත්‍රිම බුද්ධිය (AI) වගකීම් සහගත ලෙස භාවිත කිරීම සහ අනාගතය අරමුණු කරගත් පර්යේෂණ ක්‍රමවේද ඇතුළු කරුණු පිළිබඳව මෙහිදී අධ්‍යයනය කරන ලදී.

ශ්‍රී ලංකා නියෝජිත පිරිස පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියගේ ප්‍රධානත්වයෙන් සමන්විත වූ අතර, එම නියෝජිත පිරිසට පුස්තකාලයාධිපති සියාත් අහමඩ් , ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී මොහොමඩ් අජිවාදීන්, ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරිනී තෙක්ෂිලා එරන්දි ලොකුගේ, පද්ධති විශ්ලේෂක නිෂාන් වික්‍රමසිංහ මොහොට්ටීගේ සහ නියෝජ්‍ය ප්‍රධාන නිලධාරිනී සචිනි ගුණසේකර යන මහත්ම මහත්මීහු ඇතුළත් වූහ.

ව්‍යවස්ථාදායක පර්යේෂණ කටයුතු සඳහා කෘත්‍රිම බුද්ධි මෙවලම් ආරක්ෂිතව සහ වගකීම් සහගතව භාවිත කිරීම පිළිබඳව මෙම පුහුණු වැඩසටහනේදී විශේෂ අවධානයක් යොමු විය. කෘත්‍රිම බුද්ධිය පාලනය කිරීම, දත්ත ආරක්ෂාව, රහස්‍යභාවය, නිරවද්‍යතාව, දේශපාලන මධ්‍යස්ථභාවය සහ මානව අධීක්ෂණය වැනි කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. එමෙන්ම, සාක්ෂි සහ තොරතුරු එක්රැස් කිරීම, ලේඛන සංසන්දනය කිරීම, සාරාංශගත කිරීම සහ දැනුම් කළමනාකරණය වඩාත් කාර්යක්ෂමව සිදු කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිත කළ හැකි ආකාරය ප්‍රායෝගික සැසි මගින් පෙන්වා දෙන ලදී.

තවද, ව්‍යවස්ථාදායක පර්යේෂණ කටයුතුවලදී අනාගත දැක්මට ඇති වැදගත්කම පිළිබඳවද මෙම වැඩසටහනේදී අවධාරණය කෙරිණි. ඉදිරියේදී ඇතිවිය හැකි වෙනස්කම් සහ අභියෝග කල්තියා හඳුනාගැනීම, පවතින ප්‍රවණතා හඳුනාගැනීම සහ විවිධ අනාගත තත්ත්වයන් පිළිබඳ සැලසුම් සකස් කිරීම වැනි ක්‍රමවේද භාවිත කිරීම තුළින්, වර්තමාන දේශපාලන තත්ත්වයන්ගෙන් ඔබ්බට ගොස් අනාගතයේදී මතුවිය හැකි අභියෝග හඳුනාගැනීමටත්, රාජ්‍ය ප්‍රතිපත්තිවල දිගුකාලීන බලපෑම් විශ්ලේෂණය කිරීමටත් පාර්ලිමේන්තු පර්යේෂකයන්ට හැකියාව ලැබෙන බව මෙහිදී පෙන්වා දෙන ලදී.

මෙම සංචාරය අතරතුරදී නියෝජිත පිරිස ස්ලෝවැකියානු ජනරජයේ ජාතික සභාවේ මහලේකම්වරයා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවී සාකච්ඡා කළ අතර, කථානායක ගැලරිය සහ ජාතික කෞතුකාගාරය නැරඹීම ඇතුළු සංස්කෘතික වැඩසටහන් සඳහා ද සහභාගී වූහ.

මෙම වටිනා ධාරිතා සංවර්ධන වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් ස්ලෝවැකියානු ජනරජයේ ජාතික සභාව, International IDEA සහ Inter Pares හවුල්කාරිත්වය වෙත සිය කෘතඥතාව පළ කරන ලදී. එමෙන්ම, මෙම ධාරිතා සංවර්ධන වැඩසටහන සඳහා දායක වූ විශේෂඥයින්ට මෙන්ම චෙක් ජනරජය, හංගේරියාව, ඔස්ට්‍රියාව, ඉතාලිය, ලිතුවේනියාව සහ එක්සත් ජනපද කොංග්‍රස් පර්යේෂණ සේවය නියෝජනය කළ හවුල්කාර පාර්ලිමේන්තු වෙතද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සිය කෘතඥතාව පළ කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website