කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී සේවය අත්හිටුවීමට ලක්ව සිටි කෝසල සේනාධීර මහතා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ අධිකරණ සේවා කොමිෂම වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු යළි සේවයේ පිහිටුවීමට නියෝග කර තිබේ.
අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කළ මෙම නියෝගය අනුව සේනාධීර මහතා හිඟ වැටුප් ද සහිතව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත යළි අනුයුක්ත කිරීමට කටයුතු කර ඇති බව ද වාර්තා වේ.
තමන්ට හිමි නිල නිවස සඳහා අනවසරයෙන් විදුලිය සහ ජලය ලබා ගත් බවට එල්ල වූ චෝදනා පදනම් කරගනිමින්, 2024 වසරේ ජූලි මස 10 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි කෝසල සේනාධීර මහතාගේ සේවය අත්හිටුවා තිබුණේය.
අගවිනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මාස 27ක කාලයක් තිස්සේ සාක්ෂිකරුවන් 20කට අධික සංඛ්‍යාවකගෙන් කරුණු විමසමින් සිදු කරන ලද දීර්ඝ හා විධිමත් විමර්ශනයකින් අනතුරුව මෙම නියෝග නිකුත් කර තිබේ.













