වසවිෂවලින් තොරව පලතුරු ඉඳවන දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් ඇරඹෙයි

පලතුරු ඉඳවන දුම්කුටි දිවයින පුරා ඉඳිකිරීමේ වැඩසටහන් ආරම්භ කර ඇතැයි ජාතික පසු අස්‍වනු තාක්ෂණ කළමනාකරණ ආයතනයේ සභාපති මහාචාර්ය රෝහිත ප්‍රශාන්ත මහතා පැවසුවේය.

සභාපතිවරයා මෙසේ ද පැවසුවේය, “ ඉස්සර අපි පලතුරු ඉදෙව්වේ දුම් ගහලා, විශේෂයෙන් කෙසෙල් ඉඳවීම සිදු වුණ් දුම් ගහලා. එහෙම නැතිනම්  පලතරු ඉඳවීමට කැප්පෙටියා කොළ, බිලිං කොළ භාවිතා කළා. මේකට හේතුව තමයි එතිලීන්. එතිලීන් කියන්නේ හෝමෝනයක්. ඒකෙන් තමයි ස්වභාවික ඉඳවීම කරන්නේ.

අඹ, කෙසෙල්, ගස්ලබු, අලිඇටපේර නියමිත ප්‍රමාණයට පැසුණට පස්සේ අස්වනු නෙළා ගත යුතුයි. එතැන සිට මේ පලතුරු තුළ ස්වභාවිකව එතිලීන් නිෂ්පාදනය වෙනවා. නමුත් මේ පලතුරු වෙළෙඳපොළට නිකුත් කරන්න අවශ්‍ය වූ විට බාහිරින් මේ එතිලීන් යෙදවීමට සිදුවෙනවා. ඉස්සර කාලේ දුම් ගහලා කළ දේම තමයි අද එතලීන් වලින් කරන්නේ.

එතලීන් යොදා පලතුරු ඉඳවීම හානියක් නොවෙයි. ඒක ලෝකය පුරාම සිද්ධ වෙනවා. නමුත් ප්‍රශ්නය තමයි ඉස්සර කළා වගේ ස්වභාවිකව ඉඳවන්න බැහැ. නමුත් පසුකාලීනව පලතුරු ඉඳවීමට වෙනත් රසායනික සංයෝග සොයා ගත්තා.

ලංකාවේ පළමුවෙන්ම ප්‍රශ්නය ඇති වුණේ කාබයිට් යොදලා පලතුරු ඉඳවීමට යාමෙන්. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් මුලින්ම මේක හඳුන්වලා දුන්‌නේ පලතුරුවලට ගහලා ඉඳවන්න නොවෙයි. කාබයිට් පොට්ටනියකට දාලා, ඒක පලතුරු මැද්දෙන් දාන්න. හරියට එතලීන් යොදලා පලතුරු ඉඳවීම කළා වාගේ. ඒකත් එතලීන් හා සමානයි.

නමුත් පස්සේ මොකක්ද සිද්ධ වුණේ ?, විශාල පලතුරු ප්‍රමාණයක් එකවර ඉඳවීමට අවශ්‍ය නිසා කාබයිට් පලතුරුවලට ගහන්න පටන් ගත්තා.  කාබයිට්වල තිබෙන ප්‍රශ්නය තමයි, ආසනික් තිබෙනවා, පොස්ෆරස් සංයෝග තිබෙනවා.  මේ බැර ලෝහ, විෂයි. ඒ නිසා මේක තහනම් කරන්න සිද්ධ වුණා. දැන් එම ද්‍රව්‍ය භාවිතා කිරීම තහනම්.

ඊළඟට එතරල්, එතෆෝම් කියන සංයෝගය හඳුන්වා දුන්නා. මේවා පලතුරුවලට යෙදවීම තුළන් එතලීන් නිකුත් කිරීමක් සිදුවෙනවා වගේම පලතුරුවල ස්වභාවික එතලීන් නිෂ්පාදනය වේගවත් කරනවා. එම ක්‍රියාවලිය තමයි සිදුවිය යුත්තේ.

නමුත් එතෆෝන් කියන සංයෝගය (ව්‍යාපාරික නායම එතරැල්) යෙදවීමේ දී කළ යුත්තේ සාරයක් එක්ක භාවිතා කරලා එතලීන් වායුව යොදා ගැනීමයි. විශාල ආයතන වල එතලීන් ජෙනරේටර් පාවිච්චි කරලා එතලීන් වායුව  භාවිතා කරනවා. නමුත් කුඩා පරිමාණයේ ව්‍යාපාරිකයින්ට ඒක කළ නොහැකියි. ‍නමුත් මේකත් වැරදි ආකාරයට භාවිතා වුණා. ‌මේක ඉක්මනින් කළ යුතු නිසා ස්ප්‍රේ කරන එකයි, එතලීන් දියවරවල පලතුරු ගල්වන එකයි දැන් කරන්නේ. මේක සම්පූර්ණයෙන්ම තහනම් දෙයක්. ඒක නතර කළ යුතුයි.

එසේ නම් අපි නිවැරදි දේ හඳුන්වා දිය යුතුයි. ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය ලෙස අපි මේ වෙනුවෙන් ඉඳවීමේ කුටීර, ඒ කියන්නේ එතරැල් වලින් එතලීන් ගෑස් එක අරගෙන හරි විදිහට පලතුරු ඉඳවන්නේ කොහොමද කියලා පෙන්වා දෙන වැඩසටහනක් කරනවා. මේ වැඩසටහන යටතේ අපි කාමරයක් හදලා දීලා තිබෙනවා. ඒ කාමරයට ඇතුලේ පලතුරු තියලා, එතලීන් දාලා, සාරයක් එක්ක ක්‍රියා කරලා අවශ්‍ය ප්‍රමාණය නිෂ්පාදනය කර ගැනීමට  පහසුකම් ලබා දෙනවා. අවශ්‍ය වෙන්නේ 100 PPM කියන ප්‍රමාණය. ඒ ප්‍රමාණයෙන් තමයි අපි ඉඳවීම පටන් ගන්නේ. එතකොට පලතුර තුළින්ම ඉඳවීම ආරම්භ වෙනවා. අපි රට පුරාම මේ වැඩපිළිවෙළ  ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරලා තිබෙනවා”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website