කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2026 අගෝස්තු මාසයට සාපේක්ෂව 2026 සැප්තැම්බර් මාසයේ දී සියයට 8.0හි නොවෙනස්ව පැවති බව ශ්‍රී ලංකා මහ බැංකුව අද (30) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.
මේ අතර, වාර්ෂික ලක්ෂ්යමය පදනම මත, ආහාර කාණ්ඩයෙහි උද්ධමනය 2026 අගෝස්තු මාසයේ දී වාර්තා වූ සියයට 8.5හි සිට 2026 සැප්තැම්බර් මාසයේ දී සියයට 8.7 දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික ලක්ෂ්යමය පදනම මත, ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනය පෙර මාසයට සාපේක්ෂව 2026 සැප්තැම්බර් මාසයේ දී සියයට 7.7හි නොවෙනස්ව පැවතුණි.
2026 සැප්තැම්බර් මාසයේ දී, කො.පා.මි.ද. මාසික පදනම මත උද්ධමනය සියයට 0.19කින් ඉහළ ගියේය. ප්‍රධාන වශයෙන් මෙම සුළු ඉහළ යෑම සඳහා ආහාර කාණ්ඩය ප්‍රතිශතාංක 0.15කින් දායක වූ අතර, එයට මූලික වශයෙන් නැවුම් පළතුරු සහ ලොකු ළූණු මිල ඉහළ යෑම හේතු විය. එසේම, ආහාර නොවන කාණ්ඩය ප්‍රතිශතාංක 0.04ක දායකත්වයක් ලබා දී ඇති අතර, එයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ 2026 අගෝස්තු මාසයට සාපේක්ෂව අධ්‍යාපන උප කාණ්ඩයේ මිල ගණන් ඉහළ යෑමයි.
මේ අතර, වාර්ෂික ලක්ෂ්යමය පදනම මත මූලික උද්ධමනය 2026 අගෝස්තු මාසයේ දී වාර්තා වූ සියයට 5.1හි සිට 2026 සැප්තැම්බර් මාසයේ දී සියයට 5.4ක් දක්වා ඉහළ ගියේය.
2026 වසරේ තෙවන කාර්තුව සඳහා වාර්තා වූ කාර්තුමය සාමාන්‍ය මතුපිට උද්ධමනය, මහ බැංකුවේ උද්ධමන පුරෝකථන සමඟ අනුකූල විය. 2026 වසරේ සැප්තැම්බර් මාසයේ මුදල් ප්‍රතිපත්ති වාරයේ දී පැවති උද්ධමන පුරෝකථනයන්ට අනුව, මතුපිට උද්ධමනය, 2027 වසරේ පළමු කාර්තුව දක්වා කාලය තුළ ඉහළ තනි ඉලක්කමක මට්ටමේ පවතිනු ඇතැයි පුරෝකථනය කරන අතර, අනතුරුව සුදුසු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවල සහාය ඇතිව මැදි කාලීනව ක්‍රමයෙන් 5% ඉලක්කගත මට්ටම කරා පහළ යනු ඇත.














