‘විශිෂ්ට සේවා විභූෂණ’ පදක්කම් ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන්

යුද, නාවික සහ ගුවන් හමුදාවලට අයත් නිත්‍ය බල සේනාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඉටු කරන ලද සුවිශේෂ සේවාව වෙනුවෙන් උපහාර පිරිනැමෙන “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

අද දින විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ලබන ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රට සහ ජනතාව වෙනුවෙන් සුවිශේෂ කාර්යභාරයක් ඉටුකළ බවද එහිදී ඔවුන් දහවලද, රාත්‍රියද, කාළගුණය යහපත්ද, අයහපත්ද, ජීවිත අවදානමක් තිබේද, නැද්ද යන්න නොසලකා රාජකාරිය වෙනුවෙන් බැඳී සිටි බවද, වගකීමට වග වී සිටි බවද අපට අද එවැනි රාජ්‍ය සේවයක් අවශ්‍ය බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.

ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මගින් විශිෂ්ට සේවා විභූෂණ නාමයෙන් හඳුන්වා දෙන ලද පළදනාවක් ලෙස සම්මත කරගත්, මෙම පදක්කම සුවිශේෂ ප්‍රදානයක් වන අතර එය ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිල දරන අවම වශයෙන් වසර 25ක අඛණ්ඩ සේවා කාලයක් සහ යහපත් සේවා ඉතිහාසයක් හිමි නිලධරයන් වෙත පමණක් ප්‍රදානය කෙරෙන පදක්කමකි.

ත්‍රිවිධ හමුදාවේ සේවයේ යෙදී සිටින සහ විශ්‍රාමික නිලධාරීන් 57 දෙනෙකු, ජනාධිපතිවරයා අතින් විශිෂ්ට සේවා විභූෂණ පදක්කම්වලින් පිදුම් ලැබීය.

පදක්කම් ප්‍රදානයෙන් අනතුරුව පදක්කම්ලාභීන් සමග ජනාධිපතිවරයා සමූහ ඡායාරූපයකටද එක් විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා

අද දින මෙම සම්මානයට ලක්වන, වගකීමට වග වූ කණ්ඩායමක් ලෙස අපට ඔබ පිළිබඳව විශේෂ ඇගයීමක් තිබෙනවා. ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් ලෙස ඉතාමත් වැදගත් සහ විශිෂ්ටතම සම්මානයට අද ඔබ හිමිකම් ලබනවා. මේ හිමිකමේ අයිතිය ඔබ අද ලබන්නේ ඔබ ජීවිතයේ විශාල කාලයක් මේ මවුබිමේ හා රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කරන ලද විශිෂ්ට කාර්යභාරය ඇගයීමක් ලෙසයි. ඔබ මව්බිමේ හා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කරන ලද ඒ විශිෂ්ට කාර්යභාරය සම්බන්ධයෙන් අපි ඔබට බෙහෙවින් ස්තුති වන්ත වෙනවා.

ත්‍රිවිධ හමුදාවේ රාජකාරි කළ, ජ්‍යෙෂ්ඨතම නිලධාරින් ලෙස ඔබ අවුරුදු විසිපහකට වඩා වැඩි කාලයක් අප රට මුහුණ දුන් අතිශය සංකීර්ණ යුදමය කාල වකවානුවේදීත්, අනෙකුත් ස්වභාවික විපත්වලදීත් සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළා. එහිදි මා දන්නවා සාමාන්‍ය රාජ්‍ය සේවකයෙකුට වඩා වැඩි කැපකිරිමකින්, වැඩි දරාගැනීමකින් සහ වැඩි අවදානමකින් ඔබ ඒ වගකීම ඉටුකළ බව. මෙම සමාජමය වගකීම ඉටුකිරීමේදී ඔබගේ දරා ගැනීම, කැප කිරීම, අවදානම දරා ගැනීම පිටුපස සිටිමින්, ඔබට ශක්තියක් වූ බිරිඳ සහ පවුලේ සාමාජිකයන්ද සුවිශේෂ කාර්යයක් කළා. ඔවුන්ටත් අප විශේෂ ස්තුතියක් පිරිනැමිය යුතුයි. ඔවුන් තමයි ඔබ පිටුපස සිටිමින් ඔබට සහයක් වෙමින් විශාල කාර්යභාරයක් ඉටු කළේ.

අප රජයක් ලෙස අද මුහුණදී සිටින සුවිශේෂ ගැටලුවක් වන්නේ ශක්තිමත් රාජ්‍ය සේවයක් නොමැතිකමයි. රාජ්‍ය සේවය සැලකිය යුතු මට්ටමකින් බිඳවැටීමට ලක්ව තිබීමයි. එයට හේතු වූ කරුණු පිළිබඳව අප කවුරුත් අඩුවැඩි වශයෙන් දන්නවා. අපට රාජ්‍යයක් ලෙසින් ඉදිරියට යාමට නම් ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි. ඔබ රාජ්‍ය නිලධාරීන් ලෙස රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම සඳහා ඉටු කළ කාර්යභාරය විශිෂ්ටයි. ඔබ ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් ලෙස රාජ්‍ය සේවය වෙනුවෙන් සුවිශේෂී කාර්ය භාරයක් ඉටුකළා. ඔබ ඔබගේ රාජකාරියට බැඳී සිටියා. එහිදී රාජකාරිය ඉටු කරනු ලබන්නේ දහවලේද, රාත්‍රියේද, යහපත් කාලගුණික තත්ත්වයක් යටතේද නැත්නම් අයහපත් තත්වයක් යටතේද, ජීවිත අවදානම් තත්ත්වයක් යටතේද යන්න පිළිබඳව සලකා බැලුවේ නැහැ. එසේ නොමැතිව ඔබ රාජකාරියට බැඳී සිටියා. වගකීමට වග වී සිටියා. අපට එවැනි රාජ්‍ය සේවයක් අවශ්‍යයි. වගකීමට වග වූ කණ්ඩායමක් ලෙස අපට ඔබ පිළිබඳව විශේෂ ඇගයීමක් තිබෙනවා.

අපේ රට පැති ගණනාවකින් බිඳ වැටීමකට ලක්වී තිබෙනවා නම් ඒ අභියෝගය ජයගෙන ඉදිරියට එන්නට ඒ පිළිබඳ දරා ගැනීමට හැකි, ජීවිත කාලය තුළ පැමිණි අභියෝගවලට ඉතා හොඳින් මුහුණ දී ඒවා ජයග්‍රහණය කිරීම වෙනුවෙන් සුවිශේෂ කාර්යභාරයක් ඉටුකළ පිරිසක් ලෙසයි ඔබ අද දින මේ විශිෂ්ටතම සේවා විභූෂණ පදක්කම් ලබන්නේ.

පොදුවේ අප රටක් ලෙස මුහුණ දී තිබෙන ප්‍රශ්නයක් තමයි වෘත්තීමයභාවය ඇතිකර ගැනීම. අපට තනතුරු, වෘත්තීන් නිර්මාණය කළ හැකියි. නමුත් රාජකාරීමය ලෙස යමෙක් ඒ වෘත්තීමය තත්ත්වයට පැමිණ තිබෙනවාද යන ගැටලුව මතුවෙනවා. ත්‍රිවිධ හමුදාවේ විශාලතම නිලධාරින් පිරිසක් අතරින් ඔබ පනස් හත්දෙනා අද තෝරා ගනු ලැබුවේ ඒ වෘත්තිමයභාවය පෙන්නුම් කළ නිලධාරින් ලෙසයි. එය අපේ රාජ්‍ය සේවයට අත්‍යවශ්‍යයි. රාජ්‍ය සේවය යළි ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ඔබ හොඳ මං සලකුණු තබා තිබෙනවා.

ඒ වගේම අපේ රාජ්‍ය සේවයේත්, සමාජයෙත් විනය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. අපි කාටත් ස්වයං විනයක් රැක ගැනීමේ හැකියාවක් තිබිය යුතුයි. රටක් ලෙස ඉදිරියට යාමට එය ඉතා වැදගත්. රාජ්‍ය සේවකයන් රාජකාරියේදි රාජ්‍ය සේවය සමග කටයුතු කරන අතර, සාමාන්‍ය ජීවිතයේදී පොදු සමාජයත් සමඟ ජීවත් වෙනවා. ඔවුන් සමඟම ගැටෙනවා. ඒ තත්ත්වය තුළ අපි කොහොමද ස්වයං විනය රැකගන්නේ. බොහෝ රටවල් දියුණුව කරා ගමන් කර තිබෙන්නේ නීති රීතිවලින්ම නෙමෙයි. ඔවුන් විසින්ම ඇතිකර ගන්නා ලද ස්වයං විනයක් තුළිනුයි.

සමාජයේ ඕනෑ තරම් අක්‍රමිකතාවයන්ට විවෘතවී තිබෙනවා, සමාජ විරෝධී ක්‍රියාවන්ට විවෘත වී තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ කොහොමද ස්වයං විනය පවත්වා ගන්නේ? බාහිර පරිසරය ඊට පටහැනිව සකස් වී තිබියදී එවැනි ඕනෑම පරිසරයක අපට ස්වයං විනයක් පවත්වා ගත හැකි නම් එය ඉතා වැදගත්.

මෙම විශිෂ්ට සේවා විභූෂණ පදක්කම්වලින් ඔබගේ සේවයට ඇගැයීමක් ලබා දෙන බවත් ඇත්ත. ජනාධිපතිවරයා ලෙස මම ද මේ රාජ්‍යයද ඔබට ගෞරව කරන බව ඇත්ත. නමුත් තවදුරටත් එය පෞද්ගලික දෙයක් නොවේ. මට ලැබුණු පදක්කමක්, මට ලැබුණු ඇගයීමක් නොවේ, එය සමාජමය කාර්යභාරයක් ලෙස සැලකිය යුතුයි. එවිට තමයි ඔබ ඔබේ දරුවන්ට ඔබගේ අසල්වැසියාට ඔබගේ ඥාතීන්ට ආදර්ශයක් වන්නේ. ඔබගේ ආයතනයට ඔබ ආදර්ශයක් වන්නේ. එහෙම වුනොත් තමයි අපිට ඉතාමත් අන්තයට ගමන් කරමින් තිබෙන අපගේ රාජ්‍ය සේවය, මේ සමාජය යළි ගොඩනැඟිය හැකි වන්නේ. ඊට ආදර්ශයක් ලබා දිය හැකි වන්නේ. එනිසා ඔබගේ විශිෂ්ට සේවය වෙනුවෙන් ලබන මේ පදක්කම අපගේ සමාජය අලුත් දිශාවකට ගමන් කිරීම සඳහා පදනමක් වනු ඇතැයි මා විශ්වාස කරනවා.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් එච්.එස්. සම්පත් තුයියකොන්තා යන මහත්වරු සහ ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website