නීති විරෝධී වත්කම් විමර්ශන අංශය සිදු කරන විමර්ශනයකට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා නිරූපණ ශිල්පිනියක වන පියුමි හංසමාලි ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සම අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තා ය.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන මායාදුන්නේ කොරයා සහ ලක්මාලී කරුණානායක යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම අද (24) කැඳවනු ලැබී ය.
පෙත්සම්කාරියගේ දේපළ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්කම් විමර්ශන අංශය තවදුරටත් විමර්ශන සිදු කරන බවත් විමර්ශන අවසන් කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය බවත් නීතිපතිවරයා වෙනුවෙන් අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරල් ශනිල් කුලරත්න මහතා අධිකරණයට දන්වා සිටියේය.
පෙත්සම්කාර පියුමි හසංමාලි මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිය සේවාදායිකාව අත්අඩංගුවට ගැනීමක් සිදුවී නොමැති බවත් අනාගතයේදී අවශ්‍ය වුවහොත් පෙත්සමක් ගොනු කිරීමේ අයිතිය රඳවා ගනිමින් පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බවත් අධිකරණයට දැනුම් දුන්නේ ය.
දෙපාර්ශ්වයෙන් ඉදිරිපත් වූ කරුණු සටහන් කර ගත් විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට පෙත්සම්කාර පාර්ශවයට අවසර දුන්හ.












