ලෝකයටම තාක්ෂණය බෙදාහරින නවෝත්පාදක ජාතියක් බවට ශ්‍රී ලංකාව පත් කළ යුතුයි – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

ලෝකයෙන් තාක්ෂණික මෙවලම් ගෙනැවිත් පරිභෝජනය කරන රටක් වෙනුවට, ලෝකයටම නව තාක්ෂණික විසඳුම් ලබාදෙන නවෝත්පාදක ජාතියක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම රජයේ ප්‍රධාන ඉලක්කය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික විද්‍යා පදනම (NSF) මගින් සංවිධානය කරන ලද ​“විද්‍යා ප්‍රවර්ධනය උදෙසා වන NSF සම්මාන උළෙල – 2026” (NSF Award Ceremony for Science Popularization 2026)ට එක්වෙමින් අද (18) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.

​“ආරක්ෂාව සහ ප්‍රත්‍යස්ථතාව සඳහා කෘතිම බුද්ධිය” (AI for Safety and Resilience) යන්න මෙවර සම්මාන උළෙලේ තේමාවෙන් පැවති මෙම සම්මාන උළෙලේදී විද්‍යාව ජනප්‍රිය කරවීම සහ ප්‍රවර්ධනය උදෙසා කැපී පෙනෙන මෙහෙවරක් ඉටුකළ පාසල් දරුවන්, ගුරුවරුන්, විද්‍යාඥයන් සහ මාධ්‍යවේදීන් ඇගයීමට ලක් කෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද පැවසුවාය.

​“කෘතිම බුද්ධිය නැත්නම් AI තාක්ෂණය කියන්නේ අපි ජීවත් වන, වැඩ කරන, සන්නිවේදනය කරන වගේම අභියෝගවලට මුහුණ දෙන විදිහ සීඝ්‍රයෙන් වෙනස් කරමින් පවතින නව තාක්ෂණයක්. ඒක මානවාදයේ අපි මුහුණ දෙන දැවැන්තම තාක්ෂණික පරිවර්තනයක් විදිහට හඳුන්වන්න පුළුවන්.

කෘතිම බුද්ධිය වගකීමෙන් යුතුව නිර්මාණය කරලා භාවිත කරද්දී, ආපදා පූර්ව සූදානම සහ ප්‍රතිචාර දැක්වීම ශක්තිමත් කරන්නත්, මහජන ආරක්ෂාව තහවුරු කරන්නත්, අපේ පරිසරය ආරක්ෂා කරන්නත්, තීරණ ගැනීමේ හැකියාව ඉහළ නැංවීමටත්, වඩාත් සුරක්ෂිත මෙන්ම ඔරොත්තු දෙන සමාජයක් ගොඩනගන්නත් ලොකු දායකත්වයක් ලබාගන්න පුළුවන් වෙනවා.

නමුත් මේ කෘතිම බුද්ධියේ ශීඝ්‍ර වර්ධනයත් එක්කම සයිබර් ආරක්ෂාව පිළිබඳ තර්ජන, දත්තවල පෞද්ගලිකත්වය බිඳවැටීම, ව්‍යාජ තොරතුරු සමාජගත වීම සහ ඇල්ගොරිතම මගින් ඇතිවිය හැකි පක්ෂපාතීත්වයන් වැනි අභියෝග රැසකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේ තාක්ෂණය අනිසි ලෙස හෝ වගකීම් විරහිත ලෙස භාවිත කළොත්, ඒක මුළු සමාජයේම ස්ථාවරත්වයට වගේම ප්‍රජාතන්ත්‍රවාදී අගයන්ටත් දැඩි තර්ජනයක් වෙන්න පුළුවන්.

ඒ නිසා අපේ ප්‍රමුඛතාවය විය යුත්තේ කෘත්‍රිම බුද්ධියේ අයහපත් බලපෑම්වලින් ආරක්ෂා වෙන ගමන්ම, එහි තියෙන සැබෑ සුභවාදී ප්‍රතිඵල සමාජයේ යහපත උදෙසා අත්පත් කරගැනීමයි.

අපේ රජයේ ’පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ අපි පැහැදිලිවම පෙන්වා දීලා තියෙන්නේ දැනුම සහ නවෝත්පාදනය මත පදනම් වූ පරිවර්තනීය ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව අරගෙන යන විදිහයි.

රටක් විදිහට ඉදිරියට යන්න නම් අපි සම්ප්‍රදායික රාමුවෙන් මිදිලා නවෝත්පාදනයන් වැළඳගන්න ඕනේ. නවෝත්පාදනය කියන්නේ හුදෙක් තාක්ෂණික සොයාගැනීමක්ම විතරක් නෙවෙයි. ඒක අපි මුහුණ දෙන සමාජීය හා ආර්ථික ගැටලුවලට ලබාදෙන වඩාත් සුදුසු, සරල සහ කාර්යක්ෂම විසඳුම වෙන්නත් පුළුවන්.

අපි රජයක් විදිහට පසුගිය කාලය තුළ විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත ප්‍රගතියක් අත්පත් කරගන්න කටයුතු කළා. විශේෂයෙන්ම ජාතික AI සහ ඩිජිටල් පරිවර්තන රාමුව සක්‍රිය කරමින් රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි තාක්ෂණික ප්‍රමිතීන් ගොඩනගන්න අපි මුලපිරුවා.

ඒ වගේම පාසල් පද්ධතිය තුළ STEM අධ්‍යාපනය සහ ඩිජිටල් සාක්ෂරතාව ඉහළ නැංවීමටත්, විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතන මගින් බිහිවන නවෝත්පාදන වාණිජකරණය කරලා දේශීය හා ජාත්‍යන්තර වෙළඳපොළට හඳුන්වා දෙන්නත් අපි පියවර ගනිමින් ඉන්නවා. අපේ ඉලක්කය වන්නේ ලෝකයේ තාක්ෂණික මෙවලම් පරිභෝජනය කරන රටක් වෙනුවට, ලෝකයටම නව තාක්ෂණික විසඳුම් ලබාදෙන නවෝත්පාදක ජාතියක් බවට ශ්‍රී ලංකාව පත්කිරීමයි.

රජයේ ඒ ඉලක්කය කරා යන ගමනේදී ජාතික විද්‍යා පදනම මගින් සංවිධානය කරන මේ විද්‍යා ප්‍රචාරණ සම්මාන උළෙල, අපේ තරුණ පරපුරට උද්‍යෝගයෙන්, කුතුහලයෙන්, නිර්මාණශීලීත්වයෙන් සහ වගකීමෙන් යුතුව විද්‍යාව හැදෑරීමට තව තවත් උනන්දු කරවන ඉතා වැදගත් අවස්ථාවක්.

ඒ නිසා ප්‍රශ්න අහන්න, අලුත් අදහස් ගවේෂණය කරන්න සහ අපේ සමාජය වගේම රට හමුවේ තියෙන අභියෝගවලට විසඳුම් හොයන්න විද්‍යාව හා තාක්ෂණය හරි විදිහට භාවිත කරන්න අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්, පර්යේෂකයන් යොමු වෙන්න ඕනේ. දියුණුවෙමින් පවතින කෘතිම බුද්ධිය හා තාක්ෂණයේ අප නියමුවන් හා කොටස්කරුවන් විය යුතුයි. ලෝකයෙන් අපේ රටට තාක්ෂණය ගේනවා වෙනුවට අපේ රටෙන් ලෝකයට තාක්ෂණය බෙදාහරින රටක් ගොඩනැගීමට සියලු දෙනා එක්විය යුතු බව අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website