අනවසර ඉඩම් අත්පත් කර ගැනීම් සම්බන්ධයෙන් මාස දෙකක් ඇතුලත වාර්තාවක් සකස් කරන්නැයි උපදෙස්
නැගෙනහිර පළාත් ඉඩම් ආරක්ෂා කිරීමසඳහා පත් කළ කමිටුව දෙවැනි වරටත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්විය.
නීතිවිරෝධී ඉඩම් අත්පත් කර ගැනීම් වැළැක්වීම, වෙරළ තීරය ආරක්ෂා කිරීම සහ අදාළ රාජ්‍ය ආයතන සම්බන්ධීකරණය කර ගනිමින් ඉඩම් ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදීමට මෙම කමිටුව පත් කර තිබේ.
කමිටුව මෙතෙක් කරන ලද කේෂ්ත්‍ර පරීක්ෂණවල ප්‍රගතිය සහ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස විමසා බැලිණි.
නැගෙනහිර පළාතේ වෙරළ තීරයන්හි අනවසර ඉදිකිරීම්, රජයේ ඉඩම් අත්පත් කර ගැනීම්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් අනවසරයෙන් අත්පත් කර ගැනීම සම්බන්ධව අදාළ නිලධාරීන්ගෙන් තොරතුරු විමසා බැලූ අතර, ඒ පිළිබඳව මාස දෙකක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙසටද කමිටුව උපදෙස් දෙන ලදී.
මීට අමතරව ආරුගම්බේ වෙරළ තීරයෙහි අනවසර ඉදිකිරීම් සම්බන්ධවද අතුරු වාර්තාවක් ලබා ගැනීමටත් මෙහිදි තීරණය වූ අතර, අදාළ වාර්තා සකස් කිරීමේදී දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන්ද තොරතුරු ලබා ගැනීමටත් තීරණය කෙරිණි.













